Skip to main content

Adventure of unscrupulous assassin - දුෂ්ට මිනීමරුවාගේ වික්‍රමය



Tales of Professor James Moriarty 

The Adventure of the unscrupulous assassin 

දුෂ්ට මිනීමරුවාගේ වික්‍රමය


මහාචාර්ය ජේම්ස් මොරියාර්ටි සහ මගේ ඇසුර තුළ ඔහුගේ විශ්මය දනවන සුලු තාර්කික නිගමනයන්ට එළබීමේ හැකියාවත් ඔහුට බාරවූ ගැටලු විසදීමේදී දැක්වූ සටකපට බුද්ධියත් දැකගැනීමේ භාග්‍යය මා හට ලැබුනේ වරක් දෙවරක් නොවේ.

මම මහාචාර්යවරයා හදුනාගෙන ටික කලකින් ඔහුගේ සේවාවන් සදහා එක්තරා ආකාරයක සම්බන්ධීකාරකයකු බවට පත්වූවෙමි. පාතාල ලෝකයේ බොහෝ දෙනෙකු මෙන් මහාචාර්යවරයාද කිසිවෙකු විශ්වාස කිරීමට මැළිවූ අතර කොතරම් වාසිදායකයැයි පෙනී ගියද ඔහුගේ අභිමතයෙන් තොරව ඔහු වෙත ඉදිරිපත්වූ සහයයන් භාර ගත්තේ ඉතා කලාතුරකිනි.

එබැවින් නිතර සිදුවූ අයුරින් වයලට් සුට්ක්ලිෆ් මෙනවියගේ ආරක්ෂාව පිළිබඳ කාරණයේදීද ඔහුගේ නියෝජිතයා වීමට මට කැඳවීමක් ලැබිණි. මා මීටපෙර සදහන් කරසිටි පරිදිම ඒ වනවිට මම ලන්ඩන් පාතාල ලෝකයේ ඉතා උත්සාහවන්ත නමුත් කුඩා හා නොවැදගත් සාමාජිකයෙකු වීමි. චාල්ස් සුට්ක්ලිෆ් මහත්මයා ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පුද්ගලයෙකු විය. ඔහු එවකට ලන්ඩනයේ සිටි භයානකම අපරාධ කල්ලි මෙහෙයවන්නා වූ අතර ඔහුගේ අයථා  වැඩ කටයුතු මගින් විශාල ධනස්කන්ධයක් උපයා තිබුනේය. ඔහු, ඉහළ සමාජයේ වරප්‍රසාද භුක්ති විඳිමින් සිය සැබෑ ස්වරූපය එළිපිට හුවා දක්වමින් ජීවත් වූ පාතාල සාමාජිකයන් අල්පයක් දෙනා අතරින් කෙනෙකි. නගරයේ අපරාධවල මගේ සුළු කොටස කරගෙන යාම සඳහා අවසර ලබාගැනීමට මමද ඔහුට වාර්ෂිකව ගාස්තුවක් ගෙවූයෙමි. 

"මම බලාපොරොත්තු වෙනවා ඔබ කල්ඇතුව මේ ගැන තොරතුරු හොයාගෙන ඇතියි කියලා කැප්ටන්" මොරියාර්ටි අවවාදාත්මක ලෙස පැවසූවේ අපි සුට්ක්ලිෆ් මහතාගේ මන්දිරය වෙත ළගාවෙමින් සිටියදීය. "මේ කාරණය චාල්ස් සුට්ක්ලිෆ් මහතාගේ දහසය හැවිරිදි දියණිය වයලට්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බව ඇරෙන්න වෙන කිසිවක් මම දන්නේ නෑ."

"ඔබ මට එවූ ලියමනෙහි තොරතුරු තිබුනේ ඉතා අල්පයයි" මම විරෝධය පෑවෙමි. "මම මට කීදේ කළා පමණයි."

සීනුව නාද කළ අපිව සුවිසල් මන්දිරය තුළට කැඳවන ලදි. සේවකයා අපව කන්තෝරු කාමරය වෙත කැඳවාගෙන ගියේය. සුට්ක්ලිෆ් මහතා පැමිණෙන තුරු අපි එහි මද වේලාවක් රැදී සිටියෙමු. අවසානයේ ඉතා අභිමානවත් විලාසයෙන් ඔහු පැමිණියේ ආරක්ෂකයින් හතර දෙනෙකු පිරිවරාගෙනය. කාමරය වටා ස්ථානගතවූ ඔවුන් අපගේ සෑම ඉරියව්වක් දෙසම ඇස ගසාගෙන සිටියහ. සිය මේසයෙහි වාඩිවූ සුට්ක්ලිෆ් මහතා උස් වීදුරුවකට බ්‍රැන්ඩි වත්කර ගත්තේ මොරියාර්ටිට හෝ මට කිසිවක් පිළිනොගන්වමිනි. 

"මෙහි පැමිණීම ගැන ඔබ දෙපළටම ස්තූතියි" සුට්ක්ලිෆ් කීවේ දිගු බ්‍රැන්ඩි උගුරක් බීමෙන් පසුවය. "හැබැයි කැප්ටන් මොරාන්ව මේකට ගාව ගන්න ඕනා ඇයි කියලා මට තාම තේරෙන්නේ නෑ."

"සුට්ක්ලිෆ් මහත්මයා ඔබ ඔබට ඕනෑ විදිහට වැඩ කරනවා වගේ තමයි මමත්" මොරියාර්ටි එකහෙළා කියා සිටියේය. "දැන් කියන්න බලන්න මොකක්ද ප්‍රශ්නෙ කියලා?"

එවැනි දැඩි ප්‍රතිචාරයන් නුහුරු සුට්ක්ලිෆ් මද වේලාවක් රවා ගෙන සිට නැවතත් සන්සුන් විය. "ඒක මගේ දුව වයලට් ගැනයි. මට බයයි ඇය බරපතල අනතුරකට පත්වෙයි කියලා. බොහොම අධිෂ්ඨානශීලී ඝාතකයෙක් ඈව ලුහුබඳිනවා. ඔබ මා වෙනුවෙන් එම ඝාතකයා සොයාගත යුතුයි."

"එහෙමද?" මොරියාර්ටි කීය. " කරුණාකරලා ඔබේ විස්තරය කියාගෙන යන්න."

"මේ ළඟක් වෙනකන් මම වයලට්ව වෙනත් නමකින් වියානා හි ගරුකටයුතු වර්නෙර් ආර්යාවගේ ගැහැණු නේවාසික පාසැලට ඇතුළත් කරලයි තිබුනේ. මම මෝඩයෙක් නෙමෙයි, මගේ සතුරන් මගෙන් පළිගන්න ඇයව යොදාගනී කියලා මට හිතුනේ සෑහෙන කාලෙකට කලින්. ඒකයි ඇයව බොරු නමකින්  එහි යැවුවේ. ඇය ඇයගේ අධ්‍යයන කටයුතු අවසන් කළේ බොහොම මෑතකදී. ඉතින් ඇයට ලලිතකලා පාසලක පුහුණුවීම් ආරම්භ කරන්න කාලය එළඹුනා. හොඳම ලලිතකලා පාසැල් තියෙන්නේ ලන්ඩනයේ, ඒ වගේම මමත් මගේ පවුලේ අයත් ලන්ඩන් සමාජයේ ඉහළ පිළිගැනීමක් තියන අය. ඒ නිසා වෙනත් නමකින් පෙනී හිටින්න මෙහෙදි අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඇය ආපසු ලන්ඩනයට පැමිණිලා සති තුනක්වත් ගියේ නෑ ගේ ගිනි ගත්තා."

"අපි දැන් මේ ඉන්න ගෙදරද?" මම ඇසුවෙමි.

"මේක තමයි" සුට්ක්ලිෆ් තහවුරු කළේය. "ගින්න පටන් ගත්තේ බොයිලේරු කාමරයෙන්. ඒකෙන් බිම් මහලේ කොටසක් පිච්චුනා වගේම පළවෙනි මහලටත් සුලු හානි සිද්ධ උනා. වාසනාවට වයලට් හිටියේ තුන්වෙනි මහලේ එයාගෙ නිදන කාමරයේ ගින්න නිවාදමනතුරු ඇය ඒ ගැන දැනගත්තේවත් නෑ. හානිය එච්චර බරපතළ නොවුන නිසාත් කාටවත් තුවාල සිද්ධ උනේ නැති නිසාත් මම ඒක ගැන ඒ වෙලාවෙ එච්චර හිතුවේ නෑ."

මොරියාර්ටි ඉදිරියට පැමිණියේය. "නමුත් ඔබට ඊට පස්සේ ගිනි පුපුරක් අහම්බෙන් ඔබේ ගල් අඟුරු ගොඩට වැටුනට වැඩිය දෙයක් එහි ඇති බවට සැක හිතෙන විදිහේ සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා?"

"ඇත්තෙන්ම ඔව්" සුට්ක්ලිෆ් එයට එකඟත්වය පල කළේය. "ඊට සතියකට පස්සේ මට සිද්ධ උනා ව්‍යාපාරික කටයුත්තකට යුරෝපයට යෑමට. ඔබට පේනවා ඇති මම කොහේ ගියත් යන්නේ ආරක්ෂකයින් පිරිවරාගෙනයි. වයලට්ව අඩු ආරක්ෂාවක් යටතේ මෙහි දාලා යන්න මට ඕනා උනේ නෑ. ඒ නිසා වැඩි ආරක්ෂාව සදහා මම ඇයව නගරයේ වෙන තැනක තියන ආරක්ෂිත නිවාසයක නැවැත්තුවා. ඈ සිටින තැන නොදන්න නිසා ඔවුන්ට ඇයට හිරිහැර කළ නොහැකියි. නමුත් ඇය එහි ගතකළ තුන්වෙනි දවසේ රෑ ආරක්ෂිත නිවාසයට ගිනි තබනු ලැබුවා. මගේ මිනිස්සු ඇයව ආරක්ෂාකාරී විදිහට එළියට ගනු ලැබුවා, නමුත් එහිදී ඔවුන්ට සිදුවුනා ඇයව පිටත තිබුනු කරත්තයක් වෙත ගෙන යන්න. කිසිම අශුභ දෙයක් සිද්ධ වුනේ නෑ, නමුත් මේක ආරංචි උනාට පස්සේ මට තේරුනා වයලට්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව. ගිනි තැබීම මගින් ඇයව ගොඩනැගිල්ලෙන් ඉවතට අරන් පහසුවෙන් අනතුරක් කරන්න පුලුවන් තැනකට ගන්න හැකිවුණා."

"ඇත්තෙන්ම" මොරියාර්ටි ඔහු හා එකඟ විය. "ගොදුර ඉවතට ගැනීමේ බොහොම දක්ෂ වගේම පීඩාකාරී උපක්‍රමයක්."

"එයින් පස්සේ මම වහාම ආපසු පැමිණියා. ඇයව වෙනත් ආරක්ෂිත නිවාසයකට මාරුකරනු ලැබුවා. ඔබට තේරෙනවා ඇති මට ආරක්ෂිත නිවාස බොහොමයක් ඇති බව. ඊට පස්සේ ඒ නිවාසයත් ගිනිගත්තා. ඒ ඊයේ රෑ. මම හිතන්නේ මට මීට වැඩිය කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. මහාචාර්යතුමා, මට ඔබේ උදව් ඕන වෙනවා."

"සැකකරු ඔබේ සහචරයකු විය යුතුයි." මම කීවෙමි.

"කට වහගන්න, කැප්ටන්" මොරියාර්ටි මා ප්‍රතික්ෂේප කරමින් කීය. "අපරාධ මෙහෙයවීම පිළිබඳව මෙතරම් දැනුමක් තියන සුට්ක්ලිෆ් මහත්මයා මේ වනවිටත් එවැනි දෙයක් ගැන සොයාබලා ඇති. ඔහු එසේ විය නොහැකි බව සැකයකින් තොරව දැනගත්තේ නැත්නම් ඔබත් මමත් මේ සදහා අවශ්‍ය නොවෙනු ඇති. එහෙම නේද සුට්ක්ලිෆ් මහත්මයා?"

"හරියට හරි මහාචාර්ය මොරියාර්ටි. එවැනි ද්‍රෝහියෙකුට මේ ආකාරයේ ප්‍රශ්න ඇති කළ නොහැකිවන විදිහට  මගේ සංවිධානය බොහෝ ඒකක වලට වෙන් කරලයි තියෙන්නේ. පළමු ආරක්ෂිත නිවාසය ගිනි ගැනීමෙන් පසුව දෙවෙනි ආරක්ෂිත නිවාසයේදී ඇගේ ආරක්ෂාවට මා යෙදවූයේ සම්පූර්ණයෙන් වෙනස් කණ්ඩායමක්. ඔවුන් දෙපිරිස අතර කිසිදු සහසම්බන්ධයක් නෑ."

"ඒකත් එහෙමද? දැන් කෝ වයලට් මෙනවිය? මම කැමතියි ඇයත් සමඟ ටිකක් කථා කරන්න."

"ඇය ඉන්නවා විසිත්ත කාමරයේ. ඇය ඉන්නේ සෑම විටම මගේ මිනිසුන් හතර දෙනෙක්ගේ ආරක්ෂාව යටතේයි. නමුත් කථාවේ ඔබ නොඇසූ තව කොටසක් තියනවා මහාචාර්යතුමනි" 

"එහෙනම් ඒ ටිකත් කියන්න, සුට්ක්ලිෆ් මහත්මයා"

"විවිධ මාර්ග මගින් ලැබුනු  තොරතුරු ඔස්සේ මමත් මේ ගැන සොයා බැලුවා. බොහෝ මුදලක් වියදම් කරලා සෑහෙන කැපකිරීම් කලාට පස්සේ මට දැනගන්න ලැබුනා තෝමස් රට්ලෙඩ්ජ් වරදකරු විය හැකි බව."

"සිත්ගන්නාසුලුයි" මොරියාර්ටි කීය. "ඔබ ඔය කියන්නේ ඔහුට එල්ල වූ විවිධ අපරාධ චෝදනාවලට අවුරුදු තුනක් තිස්සේ සිරගතවී සිටින තෝමස් රට්ලෙඩ්ජ් ගැනද?"

"පාතාලය ගැන ඔබ බොහෝ දේවල් දන්නවා වගෙයි මහාචාර්යතුමනි. හරියට හරි ඒ තමයි මිනිහා. අවුරුදු කීපයකට කලින් සීමා මායිම් ගැන ඇතිවුනු රණ්ඩුවකදී ඔහුගේ පුත්‍රයා,  ජෝශප් මගේ මිනිසුන් අතින් ඝාතනය උනා. ඒ වෙලාවේ හුඟ දෙනෙකුට ඇහිලා තියනවා මගෙන් පළිගන්නා බවට රට්ලෙඩ්ජ් දිවුරනවා. ඉතින් මගේ දුව මැරීමට වඩා ඔහුගේ පළිය ගන්න වෙන හොඳ විදිහක් තියනවාද?"

"බොහොම හොඳ හෝඩුවාවක්, සුට්ක්ලිෆ් මහත්මයා" මොරියාර්ටි පිළිගත්තේය. මහාචාර්යවරයා අනෙකෙකුගේ විමර්ශනයක් මේ ලෙස පැසසීම ඉතා කලාතුරකින් සිදුවන්නක් වූ බැවින් එයින් මම  විමතියට පත්වීමි. කණගාටුවට කරුණ වූයේ එම පැසසුම වැඩි වේලාවක් නොපැවතීමයි. "ඔබේ විමසිලිමත් බව මා අගය කරනවා. මම වහාම රට්ලෙඩ්ජ් හමුවිය යුතුයි." 

"ඒකනම් කරන්න බැරි වෙයි, මහාචාර්යතුමා" සුට්ක්ලිෆ් කීය. "මම ඔහුව සිරකුටිය ඇතුලෙම ඉවරයක් කරලා ඒක සියදිවි හානිකර ගැනීමක් විදිහට හුවා දැක්වූවා."

"මෝඩයා!" මොරියාර්ටි කෑගැසීය. "අමන මෝඩ තකතීරුවා!!!"

මම අත හීන්සීරුවේ මගේ රිවෝල්වරය කොපුවෙන් ඉවතට ගැනීම සදහා ගෙන ගියෙමි. සුට්ක්ලිෆ් වැන්නෙකු නිසැකවම මෙවැනි නින්දාවක් නොඉවසනු ඇති. ඔවුන් මට වෙඩි තැබීමට කලින් ආරක්ෂකයින් හතර දෙනෙකුට වෙඩි තැබීම කළ නොහැක්කක් නමුත් තුවාල ලබා පමණක් බේරීමේ අවස්ථාව තිබිනි. 

එහෙත් අපේ කථාබහ මා බලාපොරොත්තු වූ පරිදි අවසාන වනවා වෙනුවට මද වේලාවකින් සන්සුන් වූ සුට්ක්ලිෆ් "කරුණාකර පැහැදිළි කරන්න" යැයි කීය. 

"ඔහුව මරාදැමීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නෑ." මොරියාර්ටි කෝපයෙන් ගුගුළේය. "සිරගතවෙලා හිටිය නිසා මේක කළේ ඔහු විසින්ම නෙමෙයි කියන එක තහවුරු වෙනවා. ඔහු මේ සදහා කුළී මිනීමරුවකු යොදාගන ඇති බව පැහැදිළියි. මීට කලින් කුළී මිනීමරුවන් එක්ක වැඩකරලා තියන නිසා ඔබ දන්නවා ඇති තමාට වැඩේ භාර දුන් කෙනා ජීවතුන් අතර හිටියත් නැතත් ඔවුන් තමන්ට පැවරුන කොන්ත්‍රාත්තුව ඉටු කරන බව. මොකද ඒක අපරාධ ලෝකය තුළ ඔවුන්ට ඇති පිළිගැනීමට ඉතා වැදගත්. ඔබ තාත්තා කෙනෙක් විදිහට ඇතිකර ගත්තු අධිආරක්ෂාකාරී කෝපය හින්දා අපිට මිනීමරුවා කවුද කියන එක රට්ලෙඩ්ජ්ගෙන්ම දැනගන්න තිබුන අවස්ථාව නැතුව ගියා."

සුට්ක්ලිෆ් ප්‍රතිචාර දැක්වීමට කලින් මොරියාර්ටි නැගී සිටියේය. "දැන් මම මේ ගෙදර කෙටි පරික්ෂාවකට ලක්කල යුතුයි. මට අවශ්‍යයයි හැගෙන ඔබේ ඕනෑම සේවකයකු සමඟ කථා කිරීමට මට ඉඩ ලබා දිය යුතුයි."

මොරියාර්ටිගේ කලින් වචන වලින් කෝපාවිෂ්ඨව වෙව්ලමින් සිටි සුට්ක්ලිෆ් සිය හිස සලා ඊට එකඟත්වය පලකළේය.

මොරියාර්ටි පළමුව මුල්ම ගින්න ආරම්භ වූ බොයිලේරු කාමරය පරීක්ෂා කිරීමට බලාපොරොත්තු විය. හානිවූ කොටස ඒ වනවිටත් අළුත්වැඩියා කොට තිබිනි. කැටගල් වලින් නිමවූ පොළොව මත වූ පිළිස්සුම් සළකුණක් පමණක් සම්පූර්ණයෙන් මකා දමා තිබුනේ නැත. බොයිලේරුවට ගල් අඟුරු දමන කොලුවා අප සමඟ බොහෝ සහයෝගයෙන් කටයුතු කළ නමුත් එයින් එතරම් ප්‍රයෝජනයක් නොවීය. පැයකට වරක් අළුත් ගල් අඟුරු බොයිලේරුව තුළට දැමීම භාරව තිබූ ඔහු, එදිනෙදා කටයුතුවලදී බොයිලේරු කාමරයට ඇතුළු වීමේ අවශ්‍යතාවයක් තිබූ එකම පුද්ගලයා විය. ගින්න හෝරාවක් මධ්‍යයේ ආරම්භ වී තිබුනු බැවින් එයට කලින් අවම වශයෙන් විනාඩි 30ක කාලයක්වත් කාමරය කිසිවෙකුගේ ඇසට හසුනොවී තිබුනු බව පැහැදිළි විය.

පසුව අපි වයලට් මෙනවියගේ නිදන කාමරයට ඇතුලුවන විට "මම කියන්නේ මොරියාර්ටි මේකනම් මහ උගතෝකෝටික ප්‍රශ්නයක්. ඕනම කෙනෙක් බොයිලේරු කාමරයට ඇතුලු වෙලා තියෙන්න පුලුවන්. අපි කොහොමද මේක ලිහන්න පොටක් පාදගන්නේ?" යයි කියා සිටීමට මා හට සිදුවිය.

"අපි එතනින් මේක විසදන්න හදන එකේ තේරුමක් නෑ. මම මුලු බොයිලේරු කාමරය පුරාම ඇවිද්දත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි උනා. අපිට සිද්ධ වෙනවා තියන අනෙක් හෝඩුවාවල් මත පදනම් වෙලා පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න. සමහරවිට මිනීමරුවාගේ ඉලක්කය ළඟ තියෙන්න පුලුවන් මේ පරීක්ෂණයට කොච්චර වැදගත් වෙනවාද කියලා ඇයටවත් හිතාගන්න බැරි විදිහේ තීරණාත්මක හෝඩුවාවල්" මොරියාර්ටි පිළිතුරු දුන්නේය.

ඔහු කාමරය පරීක්ෂා කර බැලීය. ඉහළ පන්තියේ කාන්තාවකගේ නිදන කාමරයකට ඊට පෙර ගොස් නොතිබූ බැවින් එහි විශේෂත්වය පිළිබඳව යමක් මා  හට කිව නොහැක. නිසැකවම එය මනාව සකසන ලද්දකි. මොරියාර්ටිගේ අවධානය ඇඳේ සිට කණ්නාඩි මේසය සහිත පෙදෙසටත් එතැනින් කාමරයේ වූ හිස් අවකාශයටත් අවසානයේ කාමරයේ කොන වෙතටත් යොමුවිය. දණගසා ගත් ඔහු පොළොව මත් තිබූ වා කවුළුවක් වෙත එබිකම් කළේය. "කැප්ටන් ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ?"

මම වා කවුළුව හොදින් පරීක්ෂා කළෙමි. "වැරැද්දක් පේන්න නෑ, මොරියාර්ටි. බොයිලේරු කාමරයේ සිට උණුසුම් වාතය මෙතනට ගෙන එන සාමාන්‍ය වා කවුළුවක්."

"බොහොම නිවැරදියි නමුත් එයින් එන සියුම් දුම් ගඳ බලන්න" ඔහු කීවේ වා කවුළුව ආවරණය කරතිබූ ගරාදිය පොළොවෙන් ඉවතට ඇද ඊට යටින් වූ කුහරයට එබෙමිනි. "කවුළුව ඇතුලේ තියන දැළි ගැන සැළකිලිමත් වෙන්න. ඒ වගේම මට පහළින් එළියක් පෙනෙනවා. ඔබ ලංවෙලා බැලුවොත් බොයිලේරු කාමරයේ බිම දැකගන්න පුලුවන්. පෙනෙන විදිහට ගින්න ඇවිලිලා තියෙන්නේ හරියටම මේ කවුළුවට පහළින්. පහළ පිළිස්සුම් ලකුණු වලින් මට ඒක හිතාගන්න පුලුවන්."

"ඔව්, මට පෙනෙනවා!" මම කෑගැසුවෙමි. "ඒ කියන්නේ මිනීමරුවා ගිනි තියලා තියෙන්නේ හරියටම වයලට්ගේ කාමරයට එන වා කවුළුවට යටින්. සමහර විට ඔහුට අවශ්‍ය වෙන්න ඇති දුම් ගහලා ඇයගේ හුස්ම හිරකරන්න එහෙම නැත්නම් ඇයව එළියට ගන්න."

"සමහරවිට එහෙම වෙන්න ඇති." මොරියාර්ටි කීවේ කිසිවක් තේරුම් ගැනීමට අපහසු වූ පරිද්දෙනි. 

එවේලෙහි ගෘහ සේවිකාවක් කාමරයට ඇතුලු විය. "මට සමාවෙන්න මහත්වරුනි, සුට්ක්ලිෆ් මහත්මයා මට අණකළා ඔබට කතා කරන්න ඕනා අය ඉන්නවනම් එකතු කරලා දෙන්න කියලා."

"ඔබේ නිළ ඇඳුමෙන් සහ මෙහි සිටීමෙන් මට පෙනී යන්නේ ඔබ උඩුමහලේ සේවිකාව බවයි. එය එසේනම් මට මුලින්ම කතා කිරීමට අවශ්‍ය වෙන්නේ ඔබ සමඟයි. ගින්න ඇතිවෙන වෙලාවේ ඔබ කොහෙද හිටියේ?"

"මම හිටියේ අන්න අර ශාලාවේ, මහත්මයා" ඇය කීවේ කාමරය වෙත පිවිසෙන දොර පෙන්වමිනි.

"ඒ වෙද්දි වෙලාව කීයද?" 

"නවය හමාරයි, මහත්මයා. මට හරියටම කියන්න පුලුවන් මොකද මම හැමදාම වගේ ඒ වෙලාවට ශාලාවේ පහන් සහ ඉටිපන්දම් දල්වමිනුයි හිටියේ."

"ඒ වෙලේ ඔබ මොනව හරි විශේෂ දෙයක් දැක්කද එහෙම නැත්නම් ඔබට මොනව හරි ඇහුනද?"

එම ප්‍රශ්නයෙන් සේවිකාව මදක් අපහසුතාවයට පත්වූ බවක් පෙනිණ. "ඇත්තටම මහත්මයා එහෙම දෙයක් තියනවා. නමුත් වයලට් මෙනෙවිය ගැන මගේ හිතේ තියන අප්‍රමාණ ලෙංගතු බව නිසා එය නොකිව යුතුයැයි මා හිතනවා. ඔබට තේරෙනවා ඇති, ඇය අපි වගේ මෙහෙකරුවන්ට බොහොම කරුණාවන්තයි."

"විකාර කියවන්න එපා ගෑණියේ!" මොරියාර්ටි බැණවැදිනි. "තමුන් සුට්ක්ලිෆ් මෙනෙවියට ඔච්චර ලෙංගතුනම් කැප්ටන් මොරාන් සහ මට ඇගේ ඝාතකයා වීමට සිටින කෙනා සොයා ගැනීමට උදව් කළ යුතුයි. දැන් කියනවා මොනවද තමුන් දන්නේ?"

මෙහෙකාරිය ආයාචනාත්මක ලෙස හිස පහතට නමා ගත්තේය. "මට ඇහුනා ඇය යම් කෙනෙක් සමඟ කතා කරනවා. ඒ වෙලාවේ ඇගේ කාමරයේ කිසිවෙකු සිටිය යුතු නෑ. නමුත් මට දොර අතරින් එහෙම දෙයක් ඇහුනා."

"ඒකත් එහෙමද? එතකොට මොනවද ඇය ඇගේ අද්භූත අමුත්තාට කිව්වේ?"

"ඒක තමයි කාරණය. මට ඕන නෑ වයලට් මෙනවියට මේක නිසා කරදරයක් වෙනවා දකින්න."

"මම ඔබට පොරොන්දු වෙනවා ඔබ දැන් කියන්න යනදේ අපි අතර විතරක් තියාගන්න මට පුලුවන් හැම උත්සාහයක්ම දරන බවට." මොරියාර්ටි කීවේ දැඩි අධිෂ්ඨානයෙනි.

සේවිකාව ඔහු කීදේ පිළිගත් බවක් පෙනින. "ඇය කීවා 'මම ඔබට ගොඩක් ආදරෙයි. දැන් ඉක්මනින් මෙතනින් පිටතට යන්න.' අනේ මොරියාර්ටි මහත්මයා ඔබ පොරොන්දු උනා වගේ මේක රහසක් විදිහට තියාගන්නවා නේද? ඇයට රහස් පෙම්වතෙක් ඉන්නවා කියලා දැනගත්තොත් සුට්ක්ලිෆ් මහත්මයා කරන දේ ගැන මම හිතන්නවත් කැමති නෑ."

"ඔව් ඔව් මම මට පුලුවන් අයුරින් මගේ පොරොන්දුව රකින්නම්. මට ඔබෙන් දැනගැනීමට ඇත්තේ එපමණයි. කරුණාකරලා වයලට් මෙනවියව උඩට එවන්න."

මෙහෙකාරිය අපට ආචාර කොට පිටව ගිය පසු මම "ඇගේ හිත ගිය තරුණයෙක්? සමහර විට ඔහු මේ ගෙදරට ඇතුලුවීම සදහා ඇගේ ආදරය යොදාගන්න ඇති. ආදරවන්තයාත් මිනීමරුවාත් එකිනෙකට සම්බන්ධ නෑ කියන එක මටනම් විශ්වාස කරන්න අමාරුයි."
යැයි කීවෙමි.

මොරියාර්ටි ඊට එකඟ වූ බවක් නොපෙනින. "ඒක එහෙමනම් ඔහුට තිබුනා කාමරයේදීම ඇයව මරාදමන්න, තට්ටු තුනක් පහළට බඩගාලා බොයිලේරු කාමරයේ ගින්නක් ඇතිකරලා දුම් ගස්සලා හුස්ම හිරකරන්න දඟලන්නේ නැතිව. මට හිතෙන්නේ මේක ඔබ හිතනවාට වැඩිය බොහොම සංකීර්ණයි වගේ කැප්ටන්."

ටික වේලාවකින් වයලට් මෙනවිය කාමරයට පැමිණියාය. අතිශය සුන්දර යුවතියක් වූ ඇයගේ සෑම ඉරියව්වකින්ම ලලිතකලා පාසැලෙන් ඇය උගත් දෑ විද්‍යාමාන විය. ඇයට නොගැලපෙන ලෙස පෙනුනු එකම දෙය වූයේ මුහුණදීමට සිදුවූ කරදර නිසා ගිලීගිය දෙනෙතක් සහිතවූ නොසතුටු මුහුණයි. මෙතරම් ළාබාල සුකුමාල ලෙස හැදීවැඩුනු යුවතියකට මරණීය තර්ජනයක් දරාගැනීම ඉතා අසීරු වන නමුත් වයලට් අප ඉදිරියේ නොහඩා සිටීමෙන් තමාට හැකි උපරිමයෙන් ඊට මුහුණ දෙන බවක් පෙනී ගියේය. 

"සුට්ක්ලිෆ් මෙනවිය, කරුණාකරලා වාඩිවෙන්න." මොරියාර්ටි කීය.

ඉතා ආචාරශීලී ලෙස හිස සැලූ වයලට් අසල තිබූ අසුනක වාඩිවූවාය. 

"පළමු ගින්න ඇතිවුනු වෙලාවේ, ඒ කියන්නේ මේ ගෙදර ඇතිවුනු එක වෙලාවේ, ඔබ මේ කාමරයේ නේද හිටියේ?"

"ඔව්, මහත්මයා" ඇය කීවාය. 

"ඔබ තනිවමද හිටියේ? වෙන කවුරුවත් ඔබ සමඟ මෙහි හිටියේ නැද්ද?"

"නෑ, මහත්මයා" ඇය කිසිම පැකිළීමකින් තොරව කියා සිටියාය.

"ඒ ගැන ඔබට විශ්වාසද? මම ඔබට පොරොන්දු වෙනවා ඔබ කියන සෑම දෙයක්ම රහසක් වශයෙන් තබා ගන්නා බවට."

"මහත්මයා, මම මේ කාමරයේ තනිවමයි හිටියේ, මම දිවුරනවා."

"ම්ම්... හොඳයි. ඔබ  කොයි වෙලාවෙද ගින්න ගැන දැනගත්තේ?"

"මගේ තාත්තාගේ සේවකයින් මා සොයාගෙන පැමිණියාම."

"බොහොම හොඳයි. ඔබට යන්න පුලුවන් වයලට් මෙනවිය."

වයලට් මදක් ඉක්මනින් කාමරයෙන් පිටව ගියාය.

"මොරියාර්ටි, ඇය ඔබේ මුහුණටම බොරු කිව්වා." මම කෑගැසීමි.

'ඔබ එහෙම හිතනවද? ඔබට ඒ ගැන විශ්වාසද?" මොරියාර්ටි ඇසුවේය.

"ඇත්ත වශයෙන්ම." පෙර තරම් විශ්වාසයෙන් නොවූවත් මම කීවෙමි.  "ගින්න ඇතිවූ රාත්‍රියේ නිසැකවම ඇය සමඟ කවුරුන් හෝ මේ කාමරයේ සිටියා. ඔබ දකින්න ඇති ඔබ ප්‍රශ්න කරන විට ඇය ඔබේ බැල්ම මඟ හරිනවා." මම මගේ මතය තහවුරු කිරීමට තවත් කරුණු ඉදිරිපත් කළෙමි.

"ඔව්, මම එය දුටුවා, කැප්ටන්. නමුත් මම ඊට වඩා බොහෝ දේ දුටුවා. මම හිතන්නේ නෑ ඔබ ඒවා දුටුවා කියා." ඔහු එක්වර නැගීසිටියේය. "ඉක්මන් කරන්න අපි තැපැල් කාර්යාලයට යා යුතුයි, එතැනින් මගේ නිවසට."

මොරියාර්ටි මා ඔහුගේ සඟයා කරගත්තේ මගේ හැකියාවට වඩා මගේ අශ්ව කරත්තය නිසා බව මා නිතර සැක කළෙමි. එයින් ඔහුට කුළී රථ සදහා දැරීමට සිදුවන සෑහෙන මුදලක් ඉතිරිවිය. තැපැල් කාර්යාලය වෙත යන ගමන අතරතුර ගැටලුව විසදීම සදහා ඔහුගේ සැලැස්ම පිළිබඳව මා හට ඉගිකිරීමට මොරියාර්ටි කිසිවක් පැවසුවේ නැත. ඉන්පසුව තැපැල් කාර්යාලයට ගොස් ඔහුට අවශ්‍ය පණිවිඩය යවා ආපසු පැමිණ ඔහුගේ නිවස වෙත යන අතරේදීද ඔහු පෙර මෙන්ම නිහඬව සිටියේය. අතරමගදී එක් තැනක නැවැත්වූ ඔහු එම ප්‍රදේශයේ මැරවරයකු සමඟ මට කීමට අකමැතිවූ කාරණයක් සාකච්ඡා කළේය. 

අවසානයේ ඔහු ඊළඟට සිදුවන දෙය විස්තර කළවිට මා විමතියට පත්වූවත් ඔහුගේ උපදෙස් වලට අනුව කටයුතු කිරීමට එකඟ වුනෙමි.  පරීක්ෂණයේ ඊළඟ අදියර එළබෙන තෙක් අපි බලා සිටියෙමු. මම කාංසිය මගහැර ගැනීමට "ද ස්ට්‍රෑන්ඩ්" සඟරාවේ අලුත්ම කලාපය කියවූවෙමි. ඒ අතර මොරියාර්ටි කාමරය පුරා තිබූ කළු ලෑලිවල ඉතා බැරෑරුම් ගණිතමය ගණනය කිරීම් සටහන් කළේය. අපරාධ පරීක්ෂණ සදහා වැය නොවූ ඔහුගේ කාලය මුලු මනින්ම යෙදවුනේ ඉතා වැදගත් ගණිත න්‍යායන් ගොඩනැගීම සඳහාය. 

පැයකට පසු මොරියාර්ටි යවන ලද පණිව්ඩයට පිළිතුරු ටෙලිග්‍රෑමයක් රැගත් කොලුවෙකු පැමිණියේය. කොලුවාට සංතෝසමක් දී ඔහුව ආපසු යැවූ මොරියාර්ටි ටෙලිග්‍රෑමය කියවූයේ අතරින් පතර මිමිණූ "ම්ම්ම්.... මට හිතුනා.." යන වචන හැරෙන්නට වෙන කිසිවක් ප්‍රකාශ නොකරමිනි. එසේ මිමිනීමට හේතුවූ කාරණා ඔහු මා සමඟ කීවේ නැත. මට පෙනී ගියේ මහාචාර්යවරයා හට සිය ජීවිතයේදී, විසදීම සඳහා අපරාධ පරීක්ෂණ පමණක් නොව ඔහු ඒවා විසඳන අයුරු කුතුහලයෙන් බලා සිටිනා ප්‍රේක්ෂකයින්ද අවශ්‍ය බවයි. මේ අවස්ථාවේ මා එම ප්‍රේක්ෂකයා බවට පත්ව තිබිනි. ඉතා සූක්ෂම මොළයක් ක්‍රියාත්මක වන ආකාරය බලාගැනීමේ භාග්‍යය හිමිවීමත් ඉඳහිට ඔහුගේ සේවය ඉතා අඩු ගාස්තුවකට ලබා ගත හැකිවීමත් නිසා මම එය ඔහු මට කළ වෙනස්කමක් ලෙස සැළකුවේ නැත.

ටෙලිග්‍රෑමය ලැබී මොහොතකට පසුව මොරියාර්ටි මා හට කලින් විස්තර කරතිබූ ආකාරයටම කිසිවෙකු අපේ දොරට තට්ටු කළේය. අමුත්තා පිළිගත් මම ඔහුව මහාචාර්යවරයාගේ කාමරය වෙත කැඳවාගෙන ගියෙමි. කැත, රළු පෙනුමක් තිබූ අපේ අමුත්තා මහත්මයකු නොව දුෂ්ටයකු බව පෙනී ගියේය. 

"ස්ලේඩ් ද බ්ලේඩ් කියන්නේ ඔබ නේද?" මොරියාර්ටි කිසිදු හදුන්වාදීමකින් තොරව කියා සිටියේය. 

"ඔව් ඒ මම තමයි. මට ආරංචියි ඔහේ මාව හෙව්වා කියලා. මොනවද ඔහේට ඕනා?" ගෙදර එන අතරමගදී මැරවරයකු සමඟ මොරියාර්ටි කළ කථාබහ මෙය වියයුතු බව මට තේරුම් ගියේය.

"සමහර විට ඔබ මා ගැන දන්නවා ඇති" කිසිදු ආටෝපයකින් තොරව මොරියාර්ටි කීවේය. "මම ඔබ සමඟ ගැවසෙන අයට වඩා තරමක් වෙනස් කෙනෙක්."

"ඔව් මම ඔහේව අදුනනවා. ඔහේ තමයි මහාචාර්යතුමා" 

"හරියට හරි. මම දන්න විදිහට ඔබ වැඩේ අකුරටම කරන කුළී මිනීමරුවෙක්. අනික ඔබ අනිත් අය වගේ ළමයි, පූජ්‍ය පක්ෂය කියලා අතහරින්නෙත් නෑ."

"මහාචාර්යතුමා, ගොදුරක් කියන්නේ ගොදුරක්. මම උන්ව මරල දානවා. උන්ව මරන්න හේතුව මට අදාළ නෑ."

"ඇත්තටම" මොරියාර්ටි කියාගෙන ගියේය."ටයිම්ස් පත්තරේ පලවුනු නීල්සන් කොලුගැටයාගේ මිනීමැරුමේ පොලිස් වාර්තාව කියවන කොටම මම දැනගත්තා ඒක ඔබේ වැඩක් කියලා. අවුරුදු අටක ළමයෙක්ව මරන්න ගොඩක් දෙනෙක් බාර ගන්නේ නෑ. නමුත් ඔබ එහෙම කළා."

"ඉතින් මොකද" ස්ලේඩ් කීවේ තරමක් තරහෙනි. "ඒ කොලුවගේ මිනීමරුවා තමයි දේපළක්ද මොකක්ද අයිතිකර ගන්න කියලා ඌව මරන්න මට බාර දුන්න මිනිහා. මම මගේ රාජකාරිය කරලා සාධාරණ ගාණක් ගත්තා. එච්චරයි."

"බොහොම හොඳයි. මම හිතන්නේ ඔබ මේකට ගැලපෙනවා. කැප්ටන් මොරාන්, කරුණාකරලා.."

මහාචාර්යවරයාගේ ඉල්ලීම මත ඔහු කලින් උපදෙස් දී තිබූ ආකාරයට ක්ෂණයකින් ක්‍රියාත්මක වූ මම  ස්ලේඩ්ගේ මැණික්කටුවෙන් අල්ලා ඔහුව අත් පිටුපසට සිටිනසේ පුටුවට තබා බැඳදැමූවෙමි. ඉන්පසුව ඔහුගේ දත් කිහිපයක් ගැලවී, තොල් පැළී, ඉළ ඇට කැඩෙනතුරු පහර දුනිමි. 

"තමුසෙලට මොනවද මගෙන් ඕනා" ස්ලේඩ් මුඛයෙන් ලේ ගලමින් මිමිණුවේය. 

"මොකුත් නෑ" මොරියාර්ටි කීය. "කැප්ටන් දැන් ඔබට පුලුවන් ඉවරයක් කරන්න."

එම විධානයෙන් මගේ දැළි පිහිය එළියට ඇදගත් මා ස්ලේඩ්ගේ බෙල්ල කපා දැමීය. ඔහු සැනින් මියගියේය.

"එක දෙයක් අහන්නද, මහාචාර්යතුමා" මම ඇසුවෙමි. "ඔබට ඔහුව මරන්න නම් ඕන උනේ ඇයි ඔච්චර තඩිබාන්න කිව්වේ?"

"මරණය සැලසුම් සහගත එකක් නොවන බව පෙන්වන්න අපිට සිරුරේ තැලීම් සහ සීරුම් ලකුණු ඕන වෙනවා. රුධිර සංසරණය සඳහා හදවත ක්‍රියාත්මක නොවන විට ඉදිමීම් සහ සීරීම් වෙනස්වෙන නිසා මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් වැඩක් වෙන්නේ නෑ."

ඔහු සිය කබාය සහ හිස්වැසුම අරගත්තේය. "කැප්ටන්, මිනිය ඔබේ අශ්ව කරත්තයට ගේන්න. අපේ රාජකාරි ඉවර වෙන්න ළඟයි!"

අපි ඉතා ඉක්මනින් සුට්ක්ලිෆ්ගේ නිවස වෙත ගියෙමු. මිනියක් රැගත් දෙදෙනෙකු  නිවසකට පැමිණීම ඉතා අසාමාන්‍ය දෙයක් විය. එහෙත් නිතර මරණය සමඟ ගනුදෙනු කර තිබූ සුට්ක්ලිෆ් එයින් විමතියට පත්වනවාට වඩා කෝපයට පත්විය. යාබද කාමරයේ සිටි වයලට් එම දර්ශනය දෙස බැලුවේ කුතුහලයෙනි. 

"මේ මිනිහගේ මිනිය මගේ දොරකඩට ගෙනාපු එකේ තේරුම මොකක්ද?" සුට්ක්ලිෆ් ගුගුළේය.

"සුට්ක්ලිෆ් මහත්මයා," මොරියාර්ටි සිය කතාව පටන් ගත්තේය. "කරුණාකරල අදුනගන්න විලියම් ස්ලේඩ් එහෙමත් නැත්නම් ස්ලේඩ් ද බ්ලේඩ්. හරියටම කියනවානම් මේ තමයි අපායේ පදිංචියට යාමට කලින් ස්ලේඩ්ගේ ආත්මය පදිංචිව හිටිය කුටීරය."

"මම ඒ නම අහලා තියනවා" සුට්ක්ලිෆ් කල්පනාවකට බරවෙමින් කීවේය.

"ඔබේ මතකය හාරා අවුස්සන්න ඕනෙ නෑ සුට්ක්ලිෆ් මහත්මයා, ස්ලේඩ් කියන්නේ කිසිම අණක් ගුණක් නැති මිනීමරුවෙක්. ඔහු ප්‍රසිද්ධියක් උසුලනවා ළමුන් මරා දැමීමට. මේ තමයි ඔබේ දියණිය මරාදැමීම බාරවූ පුද්ගලයා. මගේ මිත්‍ර කැප්ටන් මොරාන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු ඒ බව පිළිගත්තා. ඉතින් දැන් ඔබේ අනතුර පහව ගිහින්."

සුට්ක්ලිෆ්ගේ මුහුණ සතුටින් ඉපිළ ගියේය. "ඒක බොහොම සතුටුදායක ආරංචියක්, ඔබට ඒ ගැන විශ්වාසද මහාචාර්යතුමනි."

"හොඳටම විශ්වාසයි, සුට්ක්ලිෆ් මහත්මයා. ඔබේ දියණියගේ ජීවිතයට දැන් කිසිම අවදානමක් නෑ."

"උත්කෘෂ්ඨයි" සුට්ක්ලිෆ් කීය. "ඉන්න මම ඔබේ ගාස්තුව ගෙවන්නම්."

"මම මේ සුභ ආරංචිය වයලට් මෙනවියට කියලා එනකල් කැප්ටන් ගිහින් ගාස්තුව බාරගන්න."

මොරියාර්ටි වයලට් සමඟ කතාකරන අතරතුර සුට්ක්ලිෆ් මහතාගෙන් සෑහෙන මුදලක් එකතු කරගත් මම ආපසු මගේ නිවසට යාමට කලින් ඔහුව ඇරලීම සඳහා මොරියාර්ටිගේ නිවස වෙත ගියෙමි.

"මම කියන්නේ මොරියාර්ටි, මට තාමත් තේරෙන්නේ නැති තැන් කීපයක් තියනවා. ඔබ කොහොමද දැනගත්තේ මිනීමරුවා ස්ලේඩ්  කියලා?" 

"සරලව කියනවානම්, ඒක මම දන්නේ නෑ කැප්ටන්. ඇත්තටම මම දන්නේ මේකට ඔහුගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා විතරයි. නමුත් අපිට සුට්ක්ලිෆ්ට පෙන්නන්න මිනීමරුවකුගේ මිනියක් ඕන වුනා. ඉතින් මම ඒකට හරියන මිනිහෙක් හොයාගත්තා."

"මොකා...ක්!?" මට ඇසුන දෙය විශ්වාස කර ගැනීමට නොහැකිව කෑගැසිනි. "ඔබ ඔය කියන්නේ මිනීමරුවා තවමත් නිදැල්ලේ කියලද?"

"කොහෙත්ම නෑ, කැප්ටන්. එහෙම මිනීමරුවෙක් දැනුත් නෑ කවදාවත් හිටියෙත් නෑ. තමන්ගේ දුවගේ ආරක්ෂාව ගැන ඕනෑවට වඩා බය උන සුට්ක්ලිෆ් මහත්මයා එහෙම දෙයක් හිතාගත්තා. නමුත් ඇත්තම උත්තරේ තිබුනේ නිවස ඇතුලෙමයි."

"වයලට් මෙනෙවියගේ කාමරය පරීක්ෂා කිරීමෙන් පස්සේ මට පැහැදිළි උනා ඇය මුලසිටම බොරු කිවූ බව. ඔබට මතක ඇති ඇය මුලින් ඇගේ පියාටත් පසුව අපටත් කියා සිටියා සුට්ක්ලිෆ් මහතාගේ ආරක්ෂකයින් පැමිණෙන තුරු ඇය ගින්න පිළිබඳව දැන නොසිටි බව. නමුත් වා කවුළුවෙහි තිබුනු දැළි ප්‍රමාණයයි සහ අපි එහි යනවිටත් තිබුනු දුම් ගඳයි සළකලා බැලුවම තේරෙනවා ඒක විය නොහැකියි කියලා. ගින්න අවිලෙද්දීම ඇය ඒ බව දැනගත යුතුයි."

"අනිත් කාරණය තමයි ගිනි ගත් ස්ථාන තුනේම හිටිය එකම පුද්ගලයා වයලට් මෙනවිය පමණයි. ඇය තමයි ගිනි තැබීම් සිදුකලේ පිටින් ආව අද්භූත මිනීමරුවෙක් නෙමෙයි."

"මා මිත්‍ර මහාචාර්යතුමනි, ඔබ ඔය කියන දේවල්වල කිසිම තේරුමක් නෑනේ." මම විරෝධය පල කළෙමි. "මට තේරුම් ගන්න බෑ වයලට් මෙනවිය තමන්ගේ ජීවිතය ඒ වගේ අවදානමකට ලක්කර ගත්තේ ඇයි කියලා. ඒ වගේම මට හිතාගන්න බෑ තුන්වන තට්ටුවේ නිදන කාමරයේ හිටිය ඇය කොහොමද බිම් මහලේ තිබුන බොයිලේරු කාමරයේ ගින්නක් ඇති කරන්නේ කියලා."

අමාරු වචනයක් කියවාගැනීමට බැරිව දඟළන කුඩා ළමයෙකු දෙස බලන ගුරුවරියක මෙන් මොරියාර්ටි මා දෙස බැලීය. "ඇගේ චේතනාවන් සාමාන්‍ය හෝ බුද්ධිමත් ඒවා නොවෙයි කැප්ටන්. ඇය පයිරොමේනියා නම් මානසික ආබාධයකින් පෙළෙනවා. ඇයට ගිනි දැල්වීමට සහ ඒ දෙස බලාසිටීමට සංසිඳවිය නොහැකි අන්දමේ ආශාවක් තියනවා. ඔබ සුට්ක්ලිෆ් මහතාගෙන් ගාස්තුව ඉල්ලා ගන්නා අතරතුර මම මේ ගැන ඇගෙන් ප්‍රශ්න කළා, ඇය ඒක තහවුරු කළා."

"ඇය මට කිව්වා මේ ලෝකයේ ඇති සුන්දරම දෙය ගින්දර ලෙස තමා සලකන ලබව, ඉතින් ඇයට බෑලු ඒක නිදහස් නොකර ඉන්න. ඇය මට පැහැදිලි කලා ඇගේ ආශාව ක්‍රමයෙන් වැඩිවෙලා අන්තිමට දකින ඕනෑම දෙයක් ගිනි තියන තත්ත්වයට පත්වුනා කියලා."

"එතකොට ඇයගේ පෙම්වතා?" ඔබ කොහොමද ඒක පැහැදිලි කරන්නේ. 

"පෙම්වතෙක් නෑ, කැප්ටන්." ඔහු සුසුම් ලෑවේය. "ඒ ගැන ඇය කීවේ ඇත්ත."

"නමුත් ඔබ ඒ ගැන අහද්දී ඇය දෑස් ඉවතට ගත්තා. ඇය බොරුවක් කිවූ බවට ඒක ස්ථිර ලකුණක්."

"සාමාන්‍යයෙන්, ඔව්. නමුත් මේකෙදි උනේ ඇය මගෙන් දෑස් ඉවතට ගැනීම නෙමෙයි ඇගේ දෑස් ගමන් කළේ ගිනි උදුන වෙතටයි. හොදින් දැල්වෙමින් තිබුන ගිනි උදුන ඇගේ මානසිකත්වය තියෙන කෙනෙකුට මගහැරිය හැකි දෙයක් නොවෙයි. ඇය ඒ දෙස බලා සිටියේ දින ගණනක් නිරාහාරව උන් කෙනෙක් ප්‍රනීත ආහාර වේලක් දෙස බලා සිටිනවා වගෙයි."

"ඇය මෙවැනි මානසික ආබාධයකින් පෙළෙනු ඇතැයි සැක කල මම, පසුගිය වසර කිහිපය තුළ ගිනිගැනීම් සිදුවුනාදැයි විමසා යුරෝපයේ පිහිට් ඇගේ නේවාසික පාසැල වෙත ටෙලිග්‍රෑමයක් යැවුවා. ඔවුන්ගේ පිළිතුරෙන් තහවුරු උනා පසුගිය වසර දෙක තුළ පමණක් ගිනි ගැනීම් හයක් සිදුවී ඇති බව. ඒ සෑම එකක්ම සාමාන්‍ය හේතු නිසා ඇතිවී තිබුනා. මට හොඳටම විශ්වාසයි වයලට් එම ගිනි තැබීම් සිදුකළා ඒ වගේම  අති දක්ෂ ලෙස ඒවා ඇතිවූ ආකාරය වසන් කලා."

"නමුත් එතකොට කා සමඟද ඈ කාමරය තුළ කතා කරමින් සිටියේ?" මම ඇසුවෙමි. "කාටද ඈ ආදරය ප්‍රකාශ කළේ, ඉන්පසුව ඉක්මනින් පිටවී යන්න කිව්වේ?" 

"ඇයි කැප්ටන්, ඒ ගින්දරටම තමයි." මොරියාර්ටි පැහැදිලි කළේය. "ඇගේ මනසින් ඇය එය සජීවී වගේම ඇය ආදරය කරන දෙයක් ලෙසත් සළකනවා. ඇය තරමක් ව්‍යාකූල තරුණියක්."

"ඔබට මතක ඇති මෙහෙකාරිය කීවා ගින්න ආරම්භ වන මොහොතේ ඇය ඉටිපන්දම් දල්වමින් සිටියා කියලා. ඉටිපන්දම් පාවිච්චි කිරීමෙන් පෙනීයනවා එම නිවසේ ගෑස් නළ එළා නොමැති බව. එසේනම් වයලට්ගේ කාමරයේ භූමිතෙල් තියෙන්නට ඇති. ඇය ඒවා වා කවුළුවේ කුහරය දිගේ වෑස්සෙන විදිහට හලලා එයට ගිනි තිබ්බා. ගලාගිය භූමිතෙල් මගින් ගිනි දැල් බොයිලේරු කාමරයේ පොළොව දක්වා අරන් ගියා. ගින්න බොයිලේරු කාමරයේ තිබුනු ගල් අඟුරු වලට පැතිරුනායින් පස්සේ ගින්න කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයාගන්න බැරිවුනා."

"මෙහෙකාරියට ඇහුනේ වයලට් ඇගේ ආදරණීය ගිනිදැල් වලට බොයිලේරු කාමරය වෙත යන්න කියපු එකයි. එය බොහොම කීකරුව ඒ දේ කළා."

"විශ්වාස කරන්නත් අමාරුයි" මම කීවේ සිහින් උරුවම්බෑමක්ද සමගිනි.  "ඉතින් ඇයි සුට්ක්ලිෆ් මහත්මයාට මේ ගැන ඇත්ත කියන්නේ නැත්තේ? සමහරවිට ඔහුට පුලුවන් වේවි දුවව සුවකර ගැනීමට උදව් ලබාගන්න. ඇයි මියගිය ස්ලේඩ්ගේ කර මත වරද පටවන්නේ?"

"උදව්?...උදව්..?" මොරියාර්ටි තරහෙන් වෙව්ලන්නට විය. "ඔබ මයිකල් ඇන්ජලෝට උදව් කරනවද ඔහුගේ චිත්‍ර ඇදීමට තියන උන්මාදය නැතිකර ගන්න? ඔබ පයිතගරස්ට උදව් කරනවද ගණිතයට තියන ආලයෙන් මිදෙන්න? කොහෙත්ම නෑ නේද."

"වයලට් සුට්ක්ලිෆ් තමයි මුලු ලන්ඩනයේම ඉන්න දක්ෂතම දේපළ ගිනි තබන්නිය, තවමත් ඇයට වයස දහසයයි! ටිකක් හිතලා බලන්න ඇගේ ගිනි තැබීමට තියන සහජ ආශාව ඇය මුහුකුරා යද්දී කොයි වගේ වෙයිද කියලා. ඕනෑම ඉදිකිරීමක් පුලුස්සා දමන්නේ කොහොමද කියලා වගේම යම්කිසි තත්ත්වයක් යටතේ ගින්නක් හැසිරෙන්නේ කොහොමද කියලා දැනගැනීමට උපතින්ම ගෙන ආ හැකියාවක් ඇයට තියනවා. ඒ වගේම කිසිම සැකයකින් තොරව ස්වාභාවිකව ගින්න හටගත්තා යැයි පෙනී යන අයුරින් ගිනි තැබීම් සිදුකරන්නටත් ඇයට පුලුවන්!"

"ඇය සමඟ කතා කරද්දී මම සහතික උනා මසකට වරක් රහසේ මා තෝරාගත් ගොඩනැගිල්ලකට ඇයව රැගෙන ගොස් ඇය කැමති ආකාරයකට එය ගිනිතබා විනාශ කිරීමට ඉඩ ලබා දෙන බවට. මෙයින් ඇයගේ මනදොළ සංසිදෙනවා වගේම ඇගේ ආශාවන් ඉටුකර ගැනීමට නිශ්චිත අවස්ථාවක් හිමිවෙනවා. කිසිම හේතුවක් උඩ මගේ අනුදැනුමක් නැතිව ගිනිතැබීම් නොකරන ලෙසට මම ඇගෙන් ඉල්ලා සිටියා. ඇය ඊට එකඟ උනා."

"ඉතින් මේකෙන් ඔබට තියන වාසිය මොකක්ද, මහාචාර්යතුමනි" ඔහුගේ බොහෝ ක්‍රියාවලදී මෙන් මෙහිදීද අන්ද මන්ද වූ මම අසා සිටියෙමි. 

"කුළියට පාතාල ලෝකයේ ගැටලු විසඳනවා ඇරෙන්න මට බොහොමයක් ව්‍යාපාර තියනවා කැප්ටන්. ඒ ව්‍යාපාර වලදී මගේ කටයුතුවලට හරහට හිටින ඉදිකිරීම් හමුවනවා. එම ඉදිකිරීම් වල මගේ සතුරන් සිටිය හැකියි එසේත් නැත්නම් මට විනාශ කිරීමට අවශ්‍ය සාක්ෂි තිබිය හැකියි. ඉතින් දැන් මට තිබෙනවා එම කටයුත්ත පිළිබඳ විශේෂ හැකියාවක් ඇති අයකු මෙහෙයවන ගොඩනැගිලි ඉවත් කිරීමේ ක්‍රමයක්."

"මට පැහැදිළියි." මම කීවෙමි. "ඉතින් එවැනි දේවල් මාස්පතා කිරීමට අවශ්‍ය වෙනවාද?"

"එහෙම නෑ. මම මාසයක කාලයක් තෝරාගත්තේ එය වයලට්ගේ අවශ්‍යතාවයට ගැලපෙනවා යැයි පෙනී ගිය නිසා. මට එවැනි අවශ්‍යතාවයක් නොමැති මාසවලදී මම අහඹු විදිහට ගොඩනැගිල්ලක් තෝරා ගන්නවා එහෙම නැත්නම් වයලට්ට ඇය කැමති ගොඩනැගිල්ලක් තෝරාගන්න ඉඩ දෙනවා. ලන්ඩන් කියන්නේ අනවශ්‍ය ගොඩනැගිලි බොහොමයක් තියන විශාල නගරයක් කැප්ටන්."  

"ඔබට ඉතා බලවත් සගයෙක් වගේම සේවකයෙක් ලැබිලා තියනවා මොරියාර්ටි, ඒ වෙනුවෙන් ඔබට ගෙවීමකුත් ලැබුනනේ."

"ඒකනේන්නම්" ඔහු කීවේ එහි කිසිම විශේෂත්වයක් නොමැති ලෙසින් ඇඟට පතට නොදැනීය. නමුත් ඔහු පෑ එම මඳ සිනහව පිටුපස පවා කුමක් හෝ දෙයක් සැඟවී ඇතැයි මම සැක කළෙමි.

(ඇමෙරිකානු ලේඛක ඇන්ඩි වියර්ගේ "දි ඇඩ්වෙන්චර් ඔෆ් දි අන්ස්ක්‍රප්ලස් ඇසෑසින්" කෙටි කතාවේ සිංහල පරිවර්තනය.)

~රුවන්ත ප්‍රේමසිරි~ 



Comments

Popular posts from this blog

Mystery of the sealed room - වැසුණු කාමරයේ අභිරහස

  Tales of Prof. James Moriarty  Mystery of the sealed room  වැසුණු කාමරයේ අභිරහස බිහිසුණු අපරාධ ගණනාවක් සිදුකළ පුද්ගලයෙක් අවසන තමා නොකළ වරදක් සදහා සැකපිට අත්අඩංගුවට පත්වීම දෛවෝපගත සිදුවීමකි. එය කළකිරෙනසුළුය. නීතියට පටහැනි වන දුෂ්ට පුද්ගලයන් ගේ සිත් තුළ පවා සැමට යුක්තිය ඉටුවිය යුතුය යන හැගීම බලවත් ලෙස පවතී. කෙදිනක හෝ මා නීතියේ රැහැනට හසුවනවානම් ඒ මා ඇත්තටම සිදුකළ අපරාධයක් සදහා විය යුතු බව මම විශ්වාස කරමි. තමා පොලිස් අත්අඩංගුවට පත්වූ බව දන්වමින් මහාචාර්ය මොරියාර්ටි එවූ ලිපිය ලදවිට මා කෙතරම් විමතියට පත්වීදැයි ඔබට සිතා ගත හැකිය. ඇප බැදීමට මුදල්  ලෑස්ති කරගත් මම ඉක්මනින් ඔහු රඳවා සිටි තැනට ගියෙමි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගල ඝාතනයකට සැකපිට බව දැනගැනීමෙන් මම කම්පනයට පත්වුනෙමි. ඇප මත ඔහු නිදහස් නොකරනු ඇති. ආයුධයක් වැනි යමක් හොර රහසේ ඔහු වෙත ලබා දෙනු ඇතැයි යන සැකයෙන් මා දෙස ඉතා සුපරීක්ෂාකාරීව ඇසගසාගෙන සිටි පොලිස් නිළධාරීන් සමඟ සිරමැදිරිය වෙත ගිය මම යකඩ කූරු අතරින් ඔහු හා කථා කළෙමි. "මොරියාර්ටි, මොකද මේ උනේ?" මම ඇසුවෙමි. "කෙටියෙන් කීවොත් කැප්ටන්, මෝර්ටන් ෆෙයාචයිල්ඩ් නැම...

A Retrieved Reformation - ආදරයෙන් ආලෝකයට 01 කොටස

  A Retrieved Reformation  ආදරයෙන් ආලෝකයට 01 කොටස ජිමී වැලන්ටයින් යුහුසුළුව සපත්තු මැසීමෙහි නිරතවී සිටි බන්ධනාගාර සපත්තු වැඩපොළ වෙත පැමිණි මුරකරුවකු ඔහුව කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදි. එහිදී බන්ධනාගාර නියාමක විසින් එදින උදෑසන ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරනලද ඔහුගේ සමාව පිරිනමනු ලැබුවේය. ජිමී එය බාරගනු ලැබුවේ තරමක් වෙහෙසට පත්වූවෙකු විලසිනි. ඒ වනවිට ඔහු සිය සිව් අවුරුදු සිර දඬුවමෙන් මාස දහයකට ආසන්න කාලයක් ගතකොට අවසන්ව තිබිනි. එහෙත් ඔහු සිරගෙදර මාස තුනකට වඩා ගත කිරීමට බලාපොරොත්තු නොවීය. සාමාන්‍යයෙන් ජිමී වැලන්ටයින් වැනි දැන හැඳුනුම්කම් බහුල පුද්ගලයින්හට හිමිවන සිර දඬුවම් සිරගෙදරට ඇතුලු කරනවිට මුඩුකරන හිසකෙස් නැවත වැවෙන තුරු වත් පවතින්නේ නැත. "හොඳයි වැලන්ටයින් තමුසෙට හෙට උදේ යන්න පුලුවන්. දැන් ගිහින් සුද්ධ පවිත්‍ර වෙලා ලෑස්ති වෙනවා. තමුසෙ එච්චර නරක මිනිහෙක් නෙමෙයි. ඔය සේප්පු කඩන එක නවත්තලා සාධාරණ විදිහට ජීවත් වෙන්න බලනවා." බන්ධනාගාර නියාමක කියා සිටියේය. "මම...? මම කවදාවත් සේප්පුවක් කඩලා නෑ." ජිමී පැවසුවේ පුදුමයට පත්වූවෙකු ලෙසිනි. "අපොයි නෑ නේන්නම්" බන්ධනාගාර නිය...