Sherlock Holmes tales
The adventure of the mazarine stone
කහ දියමන්තියේ වික්‍රමය
අද්විතීය වික්‍රමයන් ගණනාවක ආරම්භක ස්ථානය වූ බේකර් වීදියේ පළමු මහලේ පිහිටි අපිළිවෙල කාමරයට නැවත පැමිණීම දොස්තර වොට්සන්හට අස්වැසිල්ලක් විය.
තමා වටා බිත්තියේ එල්ලා තිබූ විද්‍යාත්මක ප්‍රස්ථාර, ඇසිඩ් වලින් පිච්චුනු රසායනික ද්‍රව්‍ය රාක්කය, කාමරය කෙළවරේ හේත්තුකොට තිබූ වයලීන් කවරය, පැරණි පයිප්ප හා දුම්කොළ දමා තිබූ ගල් අගුරු බදුන දෙස බැලූ ඔහුගේ දෑස් අන්තිමේ යොමුවුණේ බිලීගේ පිබිදුණු සිනහවකින් සැරසුන මුහුණ වෙතටය. සිය ශ්‍රේෂ්ඨ රහස් පරීක්ෂක සගයාගේ හුදකලාව මැකීමට යම් පමණකින් හෝ දායක වු ළාබාල නමුත් ඉතා බුද්ධිමත් කොලුගැටයා ඔහුය.
"කිසිවක් වෙනස් වෙලා නෑ වගේ, බිලී. ඔබත් එහෙමයි. මම හිතනවා ඔහුත් එහෙම ඇති කියලා?"
නිදන කාමරයේ වසා තිබූ දොර දෙස උද්යෝගීමත් බැල්මක් හෙලූ බිලී "මම හිතන්නේ ඔහු ඇඳේ නිදි ඇති" යැයි පැවසීය.
ඒ වනවිට එම සුන්දර ගිම්හාන දිනයේ යන්තම් සවස හත වුනා පමණි. නමුත් තම පරණ මිතුරාගේ අක්‍රමවත් දිනචර්‍යාව ගැන දන්නා දොස්තර වොට්සන් ඒ පිළිබඳව පුදුම නොවීය.
"ඒ කියන්නේ ඔහු පරීක්ෂණයක යෙදිලා ඉන්නේ?"
"ඔව්, සර්, ඔහු ඒකට වහවැටිලා. මට ඔහුගේ සෞඛ්‍යය ගැන බයයි. ඔහු කෙට්ටුවෙලා සුදුමැලි වෙලා, කෑම ගන්නෙත් නෑ. 'හඩ්සන් මහත්මිය ඔහුගෙන් ඇසුවා හෝම්ස් මහත්මයා, ඔබ කෑම ගන්නේ කවදාද?' කියලා 'අනිද්දා හතයි තිහට, ඔහු කිව්වා. ඔහු පරීක්ෂණයකට වහවැටුනම හැසිරෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. "
"ඔව්, බිලී, මම දන්නවා."
"ඔහු කාවහරි ලුහුබදිනවා. ඊයේ ඔහු එළියට ගියේ රැකියාවක් සොයන කම්කරුවෙකු වගේ. අද වයසක ගෑණුකෙනෙක් වගේ. මමත් ටිකක් රැවටුනා ඔව් සර්, හැබැයි දැන් මම ඔහුගේ පිළිවෙළ දන්නවා" හිනාවකින් යුතුව සෝෆාව මත එල්ලා වැටෙන කාන්තා හිස් ආවරණයක් පෙන්වූ බිලී "මේකත් ඒ වයසක ගෑණුකෙනාගේ ඇඳුමේ කොටසක්" යැයි පැවසීය.
"ඉතින් මොකක්ද ඔය පරීක්ෂණය බිලී?"
අතිශය රහසිගත යමක් කීමට මෙන් බිලී සිය හඬ යටපත් කළේය. "සර් මේක කාටවත් කියන්න එපා, මේක ඔටුන්නේ දියමන්තිය ගැන පරීක්ෂණය."
"මොනවා... පවුම් ලක්ෂයේ දියමන්ති මංකොල්ලය?"
"ඔව්, සර්, ඔවුන් එය නැවත ලබා ගත යුතුමයි, ඒ සඳහා අපේ අගමැතිවරයා සහ ස්වදේශ කටයුතු ලේකම්වරයායන දෙදෙනාම මේ සෝෆා එකේ වාඩි වෙලා සිටියා. හෝම්ස් මහත්මයා ඔවුන්ට ඉතා හොදින් සැළකුවා. ඔහු ඉක්මනින්ම ඔහුට හැකි සෑම දෙයක්ම කරන බවට පොරොන්දු වෙලා ඔවුන්ව සැනසුවා. ඊළඟට කැන්ට්ලමියර් සාමිවරයා-
"ආහ්!"
"ඔව්, සර්, ඔබ දන්නවා ඔහු කොයි වගේද කියලා. හරිම උද්ධච්ඡයි, මට අගමැතිතුමාගේ සහ වගකීම් සහගත රාජ්‍ය නිළධාරියකු වන ස්වදේශ කටයුතු ලේකම්ගේ හැසිරීම තේරුම් ගන්න පුලුවන්. හැබැයි සාමිවරයාගේ මහන්තත්තකම මට ඇල්ලුවේ නෑ, හෝම්ස් මහත්තයාටත් එහෙමයි සර්. එයාට හෝම්ස් මහත්මයා විශ්වාස නෑ ඒ වගේම හෝම්ස් මහත්මයාව මේ පරීක්ෂණයට යොදාගන්නවාටත් ඔහු විරුද්ධය උනා. ඔහු හිතන්නේ හෝම්ස් මහතාට මේක විසඳන්න බැරි වෙයි කියලා. "
"ඉතින් හෝම්ස් මහත්මයා මේ ගැන දන්නවාද?"
"දැනගත යුතු සියලු දේ හෝම්ස් මහත්මයා දන්නවා."
"හොඳයි, අපි හිතමු මේකෙදි කැන්ට්ලමියර් සාමි වැරදියි හෝම්ස් මේක විසඳයි කියලා. එතකොට බිලී, මොකක්ද අර ජනේලය හරහා ඇදලා තියන තිරය?"
"හෝම්ස් මහත්මයා ඕක ඇද්දේ දින තුනකට කලින්. පොඩි ප්‍රයෝගයක්."
බිලී ඉදිරියට ඇවිද ගොස් ජනේලය සහිත ඇල්කොව්ව වෙන්කොට ඇද තිබූ තිරය ඉවත් කළේය.
දොස්තර වොට්සන් පුදුමයෙන් කෑගැසීය. ඔහුගේ පරණ මිතුරාගේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසනලද පොතක් කියවන්නාක් මෙන් මුහුණ මදක් බිමට නැබුරුවූ අනුරුවක් පුටුවක් මත විය. බිලී එහි හිස ගලවා අතට ගත්තේය.
"පණ තියනවා වගේ පේන්න අපි ඒක එක එක ඉරියව් වලට තිබ්බා. තිරය හරහා පේද්දි ඒක ජීවමානව පෙනෙනවා. හැබැයි තිරය ඉවත් කළාම අදුනගන්න පුලුවන්."
"අපි මීට පෙරත් වරක් ඔයවගේ දෙයක් භාවිතා කළා."
"ඒ මම එන්න කලින්" බිලී පැවසීය. ඔහු ජනේල තිර ඉවත් කර වීථිය දෙස බැලීය. "අපි දිහා ඇහැගහගත්තු මිනිස්සු ඉන්නවා. මට දැන් ජනේලයෙන් කෙනෙක්ව පේනවා. ඔබත් ඇවිත් බලන්න."
වොට්සන් ජනේලය දෙසට පියවරක් තැබුවා පමණි නිදන කාමරයේ දොර විවර කරගෙන හෝම්ස්ගේ උස හීන්දෑරි සිරුර මතුවිය. ඔහුගේ මුහුණ සුදුමැලි වී ඇදී ගොස් තිබූ නමුත් ඔහුගේ පියවර වෙන කවරදාටත් වඩා ක්‍රියාකාරී විය. එක පිම්මෙන් ජනේලය අසලට ගිය ඔහු තිර රෙද්ද නැවත පහළට දැමීය.
"ඔය ඇති, බිලී" ඔහු පැවසීය. "ළමයා මේ වන විටත් ඔබේ ජීවිතය අනතුරේ, මට ඔබව දැන්මම නැතිකර ගන්න බැහැ. වොට්සන්, ඔබව නැවත වරක් මේ නිවස තුළ දැකීමට ලැබීම සතුටක්. ඔබ ඇවිත් තියෙන්නේ බොහොම තීරණාත්මක මොහොතක."
"එහෙනම් මම යන්නම්."
"ඔයාට යන්න පුළුවන්, බිලී."
"ඒ ළමයා මට බරක්, වොට්සන්. මම ඔහුව අවදානමක දැමීම කොතරම් දුරට සාධාරණද?"
"මොන විදිහේ අවදානමක්ද, හෝම්ස්?"
"ජීවිත අවදානමක්. අද හවස යමක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා."
"මොනවගේ දෙයක්ද?"
"ඝාතනයට ලක්වීමක්, වොට්සන්."
"වෙන්න බෑ, ඔබ විහිළු කරනවාද, හෝම්ස්!"
"මගේ සීමිත ප්‍රහසන හැකියාවෙන් පවා ඔයිට වඩා හොඳ විහිළුවක් කරන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ. කෙසේවෙතත් ඒ වෙනකන් අපට සැපපහසුවට ඉන්න පුලුවන් එහෙම නේද? මධුවිත ටිකක් පාවිච්චි කරනවාද? ගැසොජීන් සහ සුරුට්ටු පුරුදු තැනම තියනවා. මට ඔබව නැවත වරක් ඔබේ හුරුපුරුදු අත් පුටුව මතදී දකින්න ඉඩ දෙන්න, මගේ පයිප්ප සහ දුම්කොළ පාවිච්චිය ගැන මැසිවිලි නැගීමට දැන් ඔබට අමතකවෙලාද? මේ දිනවල ඒවා මගේ ආහාර බවට පත්වෙලා තියෙන්නේ.”
"ඒත් ඇයි ඔබ ආහාර නොගෙන ඉන්නේ?"
"මොකද ඔබ සාගින්නෙන් පෙළෙන විට ඔබේ ඉන්ද්‍රියයන් පිරිපහදු වන නිසා. මගේ ආදරණීය වොට්සන්, වෛද්‍යවරයකු වශයෙන් ඔබ පිළිගත යුතුයි රුධිර සංසරණය, ආහාර ජීර්ණය පවා මොළයට වෙහෙසකර බව. මේ දවස්වල මගේ මොළය සම්පූර්ණයෙන් යොදවා තියෙන්නේ මේ පරීක්ෂණය සදහා. මොළය වෙහෙසවන වෙන කිසිවක් මම කරන්නේ නෑ."
"එතකොට ඔබ කිවූ අවදානම, හෝම්ස්?"
"ආහ්. ඔව්, එය සිදුවුවහොත් ඔබට පුලුවන්ද මගේ අවසන් සුභ පැතුම් සමඟ ඝාතකයාගේ නම සහ ලිපිනය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය වෙත ලබා දෙන්න? එහෙනම් ඒක ලියාගන්න ඒ නම තමයි සිල්වියස්, නෙග්‍රෙටෝ සිල්වියස් ආදිපාදවරයා, මුවර්සයිඩ් උද්‍යානය, 136, එන්. ඩබ්."
වොට්සන්ගේ මුහුණ අඳුරු විය. සිය සගයා මුහුණදුන් බැරෑරුම් අවදානම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ ඔහු හෝම්ස් පැවසූයේ අතිශයෝක්තියක් නොවන බව දැන සිටියේය. වොට්සන් සැමවිටම අවස්ථානුකූලව කටයුතු කළ අයෙකු විය. මෙවරද ඔහු ක්‍රියාත්මක විය.
"මමත් ඉන්නවා ඔබත් එක්ක. මේ දවස්වල මටත් කළයුතු වැඩ කිසිවක් නෑ."
"ඔබේ ගතිගුණ වෙනස් වෙලා නෑ වොට්සන්. කාර්‍ය්බහුල වෛද්‍යවරයකු යෙදී සිටිය යුතු රාජකාරි කිසිවක් ඔබට නැද්ද?"
"සැළකිය යුතු මට්ටමේ කිසිවක් නෑ. ඔබට පුලුවන්නේ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සලස්වන්න."
"ඔව් වොට්සන් මට පුලුවන්. ඒක තමයි ඔහුත් කළබල වෙලා තියෙන්නේ ."
"එහෙනම් ඇයි ඔබ එහෙම නොකරන්නේ?"
"මොකද මම තාම දියමන්තිය කොහෙද කියලා දන්නේ නෑ"
"ආහ්, බිලී මට කිව්වා. ඔටුන්නේ නැතිවුණ දියමන්තිය නේද? "
"ඔව්, වටිනා කහ මසාරින් ගල. මම මගේ දැල එලා මාලුන් අල්ලා ගත්තා. නමුත් මට දියමන්තිය ලැබුනේ නෑ. දියමන්තිය නොමැතිව ඔවුන් අල්ලා ගැනීමේ ඵලය කුමක්ද? ඔවුන් අල්ලාගෙන ලෝකය වඩා සුන්දර තැනක් කරන්න අපිට පුලුවන්. නමුත් මට පැවරී ඇති රාජකාරිය එය නොවෙයි. මා කළ යුත්තේ දියමන්තිය සෙවීමයි."
"එතකොට මේ සිල්වියස් ඒ මාලුන්ගෙන් කෙනෙක්ද?"
"ඔව්, ඔහු මෝරෙක්. ඔහු සපා කනවා. අනෙකා තමයි බොක්සිං ක්‍රීඩක සෑම් මර්ටන්. ඔහු නරක මිනිහෙක් නෙමෙයි. හැබැයි ආදිපාදවරයා ඔහුව පාවිච්චි කරනවා. සෑම් තඩි මෝඩ මොදෙක්. නමුත් ඔහුත් මගේ දැලට අහුවෙලයි ඉන්නේ."
"දැන් කෝ මේ සිල්වියස් ආදිපාදවරයා?"
"මම අද වයසක කාන්තාවක් වගේ ඔහු අසලටම ගියා. මම මෙතරම් හොඳට වෙස්වලාගෙන නෑ කවදාවත්. බෙහොම වැදගත් මහත්මයෙකු වගේ ඔහු වරක් මගේ හිස්වැසුම පවා අරන් දුන්නා. ඒවගේම ඔහුට යක්ෂයෙකු වෙන්නත් පුලුවන්. මිනිස් ස්වභාවය හරිම පුදුම දෙයක් වොට්සන්"
"ඒක බොහොම බිහිසුණු අත්දැකීමක් වෙන්නත් තිබුණා."
"ඔව් එහෙම වෙන්නත් තිබුනා. මිනොරීස්හි පිහිටි මහලු ස්ට්‍රෝබෙන්සිගේ වැඩපොළ දක්වා මම ඔහුව ලුහුබැඳ ගියා. එතැනදි තමයි ස්ට්‍රෝබෙන්සි ඔහුට වායු තුවක්කුව සාදා දුන්නේ. අනර්ඝ නිර්මාණයක්. මගේ අනුමානය නිවැරදිනම් එය මේ මොහොතේ වීදිය එහාපැත්තේ තියන ගොඩනැගිල්ලේ කවුලුව තුළින් මේ දෙසට එල්ල වෙලා ඇති. බිලී ඔබට මගේ අනුරුව පෙන්නුවා නේද. හොඳයි.. කොයි මොහොතේ හරි ඒකෙ ඔලුව හරහා උණ්ඩයක් ගමන් කරන්න පුලුවන්. ආහ්... බිලී ඒ පාර මොකක්ද?"
බන්දේසියක් මත තබන ලද හඳුන්වාදීමේ කාඩ් පතක් සමඟ කොලුගැටයා නැවතත් කාමරය තුළ පෙනී සිටියේය.
ඒ දෙස බැලූ හෝම්ස් සිය ඇහිබැම ඉහළ යවා සෙල්ලක්කාර සිනහවක් පෑවේය.
"මිනිහම ඇවිත්. මම මේක බලාපොරොත්තු උනේ නෑ. බොහොම ධෛර්යයවන්ත මිනිහෙක්. මම මිනිහව තරහ ගැස්සුවා. වොට්සන් ඔබ සමහර විට අහලා ඇති දක්ෂ වෙඩික්කාරයෙකු විදිහට ඔහු ලබා තිබෙන කීර්තිය. ඇත්තටම මාව ගොදුරක් කරගත්තොත් ඒක ඔහුගේ විශිෂ්ඨ වාර්තාවට කදිම අවසානයක් වේවි. මේකෙන් පේනවා මම තමන් ළඟටම ආපු බව ඔහු දැනගෙන කියලා."
"පොලීසිය කැඳවන්න."
"ඔව් එහෙම කරන්න පුලුවන්. හැබැයි දැන්ම නෙමෙයි. වොට්සන්, ජනේලයෙන් බලලා වීදියේ කවුරුහරි ඉන්නවාද කියලා මට කියන්න ."
වොට්සන් තිරය අතරින් වීදිය දෙස පරික්ෂාකාරී බැල්මක් හෙළීය.
"ඔව් දොර ළඟ එක හැඩිදැඩි මිනිහෙක් ඉන්නවා."
"ඒ සෑම් මර්ටන් වෙන්න ඕනා. විශ්වාසවන්ත තකතීරු සෑම්. මේ මහත්මයා කොහෙද ඉන්නේ බිලී?"
"අමුත්තන්ගේ කාමරයේ"
"මම සීනුව නාද කළාම ඔහුව එක්කන් එන්න."
"හොඳයි, සර්"
"මම කාමරයේ නොසිටියත් ඔහුව එක්කන් එන්න."
"හොඳයි, සර්"
කාමරයේ දොර වැසෙන තුරු බලාසිටි වොට්සන් සිය සගයා දෙස හැරුනේය.
"බලන්න හෝම්ස් මේක හරියන වැඩක් නෙමෙයි. මේ ඉන්නේ කිසිම අනක්ගුණක් නැති වියරු වැටුනු මිනිහෙක්. ඔහු ඇවිත් ඉන්නේ ඔබව මරන්න වෙන්නත් පුලුවන්."
"මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ."
"මොනව උනත් මම ඔබ සමඟ ඉන්නවා."
"ඒක ලොකු බාධාවක් වේවි."
"ඔහුටද?"
"නෑ මගේ මිත්‍රයා, මට"
"ඒත් මේ වෙලාවේ මට පුලුවන්ද ඔබව දාලා යන්න?"
"ඔව් ඔබට පුලුවන් වොට්සන්. ඔබ යා යුතුයි. මේ පරීක්ෂණයේ සාර්ථකත්වය රදා පවතින්නේ ඒ මත. මේ මිනිහා ඔහුගේ අරමුණ ඉටුකරගන්න ආවට එයාට මගේ අරමුණ ඉටුවෙනකන් ඉන්න වේවි."
සිය සටහන් පොත එළියට ගත් හෝම්ස් එහි යමක් ලීවේය. "කුළී රථයක් අරන් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත යන්න මේක අපරාධ පරීක්ෂණ අංශයේ පරීක්ෂක යෝගල්ට දෙන්න. පොලීසිය කැඳවාගෙන ආපසු එන්න. ඔවුන් මිනිහාව අත්අඩංගුවට ගනු ඇති."
"මම එය සතුටින් කරන්නම්."
"ඔබලා ආපසු ඒමට පෙර දියමන්තිය කොහේදැයි සොයාගැනීමට මට කාලය ඇතිවේයැයි සිතනවා" යැයි කියමින් හෝම්ස් සීනුව නාද කළේය.
"අපි නිදන කාමරය හරහා පිටවෙමු. මේ රහස් පිටවීම ඉතාමත් ප්‍රයෝජනවත්. මට අවශ්‍ය ඔහු මාව දකින්නේ නැතුව මෝරාව බලාගන්න. ඔබට මතක ඇති මම ඒ සදහා උපක්‍රමයක් යොදා ඇති බව".
එහෙයින් ඊට මිනිත්තුවකට පසුව බිලී සිල්වියස් ආදිපාදවරයා කැදවාගෙන එනු ලැබුවේ හිස් කාමරයකටය.
සුප්‍රසිද්ධ වෙඩික්කරුවා දිගු නාසයක් සහිත, කුරිරු සිහින් තොල් වලින් යුත් මුඛය ඝනව වැඩුනු උඩු රැවුලකින් ආවරණය වූ, විශාල අඳුරු පැහැ සිරුරකින් යුතු පුද්ගලයෙක් විය.
හොඳින් ඇඳ පැළඳ සිටි ඔහුගේ කාන්තිමත් කරපටිය, දිලිසෙන කරපටි රදවනය සහ දිදුලන මුදු චිත්තාකර්ෂණීය බවක් එක් කලේය.
තමා පසුපසින් වූ දොර වැසෙනවාත් සමඟම හේ කොතැනක හෝ උගුලක් ඇතැයි සැක කරන්නාක් මෙන් සිය දරුණු, තැතිගත් දෑසින් වටපිට බැලීය. කවුළුව අබියස තිබූ අත්පුටුවෙන් ඉහළට එසවුනු කබා කොලරය මත වූ උදාසීන හිස දුටු ඔහු දරුණු ආරම්භයක් ලබා ගත්තේය. මුලින්ම ඔහුගෙන් ප්‍රකට වූයේ විමතියට පත්වූ ස්වභාවයකි. කෙමෙන් කෙමෙන් ඔහුගේ මිනීමරු අඳුරු දෑස් බිහිසුණු බලාපොරොත්තුවකින් ආලෝකමත් විය. කිසිදු සාක්ෂිකරුවකු නොමැති බව පසක් කර ගැනීමට තවත් වරක් වටපිට ඇහැ යැවූ ඔහු සිය සැරයටිය ඔසවා ගෙන ඇගිලිතුඩු වලින් නිහඬව රුව දෙසට ගමන් කළේය. නිදන කාමරයේ විවෘත දොර තුළින් නිවුණු, ප්‍රතාපවත් හඩක් ඔහුට ආමන්ත්‍රණය කරන විට, ඔහු සිය ප්‍රහාරය එල්ල කිරීමට අවසාන පිම්ම පැනීම සඳහා වකුටු වී සිටියේය.
"ඒක කඩන්න එපා! ආදිපාදතුමනි, ඒක කඩන්න එපා!"
විමතියෙන් කැළඹී ගිය මුහුණින් යුතුව ඝාතකයා ආපසු හැරිණි. අනුරුව වෙතට එල්ල කළ ප්‍රචණ්ඩත්වය සැබෑ පුද්ගලයා වෙතට එල්ල කරන්නට මෙන් ඔහු ක්ෂණයෙන් සිය සැරයටිය නැවතත් පසුපසට ඇදගත්තද, අළු පැහැති දෑසෙන් සහ සමච්චල් සිනහවෙන් ඇගවුනු යමක් නිසා නැවත එය පහත හෙළීය.
"සොඳුරු නිර්මාණයක්" අනුරුව දෙසට පැමිණෙමින් හෝම්ස් පැවසීය. "ප්‍රංශ මූර්ති ශිල්පී ටැව්නියර් තමයි ඒක හැදුවේ. ඉටි කලාවේ ඔහු දක්ෂයෙක් හරියට ඔබේ මිත්‍ර ස්ට්‍රෝබෙන්සි වායු තුවක්කු නිර්මාණයට දක්ෂයි වගේ."
"වායු තුවක්කු, මහත්මයා ඔබ මොනවද අදහස් කරන්නේ."
"ඔබගේ හිස්වැස්ම සහ සැරයටිය මේසයේ පැත්තකින් තබන්න. කරුණාකර වාඩිවෙන්න. රිවෝල්වරයත් පැත්තකින් තියන්න පුලුවන් නම් බොහොම හොඳයි. ඔබගේ පැමිණීම බොහොම කාලෝචිතයි. මට ඔබ සමඟ මිනිත්තු කිහිපයක් කථා කරන්න අවශ්‍ය වෙළයි තිබුනේ."
ආදිපාදවරයා ඝන ඇහිබැම හකුලුවමින් තර්ජනාත්මක ලෙස රැව්වේය.
"මමත් ඔබ සමඟ වචන කිහිපයක් කථා කරන්නයි හිටියේ, හෝම්ස්. මම අද මෙහි පැමිණියේ ඒ සදහායි. මේ දැන් ඔබට පහර දීමට ගිය බව මම පිළිගන්නවා."
හෝම්ස් සිය කකුල මේසය ළඟට ගත්තේය.
"ඔබේ හිතේ එවැනි අදහසක් තියන බව මම තේරුම් ගත්තා" ඔහු පැවසීය. "ඒත් ඇයි මේ පෞද්ගලික කෝන්තරයක්?"
"මොකද ඔබ ඔබට අදාළ නැති වැඩවලට මැදිහත් වෙලා මාව තරහා ගස්සපු නිසා, ඔබේ ගෝලයන් මා පසුපස එවූ නිසා."
"මගේ ගෝලයන්! මම ඔබට සහතික වෙනවා එය එසේ නොවූ බවට."
"විකාර! මම ඔවුන්ව ලුහුබැදෙව්වා. ඔබට වගේම මටත් ඒ දේ කරන්න පුලුවන් හෝම්ස්."
"ඕක බොහොම සුලු කාරණයක්, සිල්වියස් ආදිපාදතුමනි. ඒනිසා මම කැමතියි ඔබ මට ගරුසරු ඇතිව කථා කරනවානම්. ඔබට තේරෙනවා ඇති මම රාජකාරි කරන්නේ සටකපට වංචාකාරයන් සමඟ බව ඉතින් ඔවුන් හා කරට කර නොසිටිය හොත් ප්‍රතිඵල භයානකයි."
"එහෙමනම් හොඳයි හෝම්ස් මහත්මයා."
"බොහොම හොඳයි, හැබැයි මම නැවත කියනවා ඔත්තුකරුවන් ගැන නම් ඔබට වැරදිලා."
සිල්වියස් ආදිපාදවරයා උපහාසාත්මක සිනහවක් පෑවේය.
"ඔබ හිතන්නේ සියුම් නිරීක්ෂණ කරන්න පුලුවන් ඔබට විතරයි කියලද? ඊයේ රැකියාවක් සොයන කම්කරුවෙක්, අද වයසක කාන්තාවක් ඔවුන් මුලු දවසම මා ගැන ඇහැ ගහගෙනයි හිටියේ."
"ඇත්තට.., මම ඒක ප්‍රශංසාවක් ලෙස සළකන්නම්. මහලු ඩෝසන් සාමිවරයා ඔහුව එල්ලා මැරීමට කලින් දින රාත්‍රියේ කියා සිටියේ මා නීතිය පසිඳලීමට යාමෙන් වේදිකාවට විශාල පාඩුවක් වූ බවයි. දැන් ඔබ මගේ සුලු රඟපෑම් ප්‍රශංසාවට ලක්කරනවා."
"එතකොට ඒ ඔබමයි."
හෝම්ස් සිය උරහිස් හැකිලුවේය. "ඔබට පේනවා ඇති අර මුල්ලේ තියෙන්නේ ඊයේ මිනොරීස්හිදී ඔබ ඉතා කාරුණිකව මට අහුලා දුන් හිස්වැස්ම බව. ඒනිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා."
"හැබැයි මට ඒ බව තේරුනානම්, ඔබට ආයෙමත්..."
"ගෙදර එන්න වෙන්නේ නෑ. මම ඒ බව දැන සිටියා. අපි හැමෝටම නොසැළකිල්ල නිසා ළතැවෙන්නට වෙනවා. ඉතින් එවේලේ ඔබට මාව අදුනාගන්න බැරිඋන නිසා අපි දැන් මෙහෙම මුණගැහෙනවා."
ආදිපාදවරයාගේ ගැටගැසුනු ඇහිබැම ඔහුගේ බියකරු දෑස් උඩ තදින් එක්රැස් විය. "ඔබ ඔය කියන දෙයින් තත්ත්වය තවත් බැරෑරුම් වෙනවා. එතකොට ඒ වෙන කවුරුවත් නෙමෙයි ඔබේම රඟපෑමක්. ඔබම පිළිගන්නවා ඔබ මාව තරහ ගැස්සූ බව. ඇයි ඒ?"
"අයියෝ ආදිපාදතුමනි, ඔබ ඇල්ජීරියාවේ සිංහයින් දඩයමේ යෙදුණු කෙනෙක් නේද?"
"ඉතින්?"
"ඒත් ඇයි?"
"ඇයි? ආශ්වාදය, ත්‍රාසය සදහා"
"ඒ වගේම රට උවදුරකින් බේරා ගැනීමට නේද"
"හරියට හරි"
"ඔය තියෙන්නේ මම එසේ කිරීමට හේතුව සැකවින්"
වහා නැගී සිටි ආදිපාදවරයා සිය කලිසම් සාක්කුවට අත යැවීය.
"වාඩිවෙන්න සර්, වාඩිවෙන්න! තවත් එක වැදගත් හේතුවක් තියනවා. මට ඒ කහ පාට දියමන්තිය අවශ්‍යයි."
සිල්වියස් ආදිපාදවරයා නැවත පුටුවේ වාඩිවූයේ දුෂ්ට සිනහවක් පාමිනි.
"ඒකනම් වෙන්නේ මම කැමැතිනම් පමණයි" ඔහු කීය.
"ඔබ දන්නවා මම ඔබ පසුපස ආවේ ඒ සඳහා බව. ඔබ අද මෙහි පැමිණි සැබෑ හේතුව මා කොපමණ දුරට මේ පිළිබඳව දන්නවාද මාව මේකෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍යද යන්න දැනගැනීමටයි. ඇත්තෙන්ම එය දැනගැනීම ඔබට අත්‍යවශ්‍ය බව කිවයුතුයි. ඉතින් මම එක් දෙයක් හැර අන් සියල්ල දන්නවා. ඒ දෙය ඔබ මට කියාවි."
"ඇත්තටම ඔබ එහෙම හිතනවද? ඉතින් මොකක්ද ඔබ මේ ගැන නොදන්න කාරණය?"
"දැන් කොහෙද ඔටුන්නේ දියමන්තිය තියෙන්නේ?"
ආදිපාදවරයා සිය විරුද්ධවාදියා දෙස තියුණු බැල්මක් හෙළීය. "ඕහ්! ඔබට ඒක දැනගන්න ඕන වෙලා නේද? ඇයි ඔබ හිතන්නේ මම ඒක ඔබට කියයි කියලා?"
"ඔබට කියන්න වෙනවා."
"ඇත්තට.."
"ඔබට මාව රවට්ටන්න බෑ, සිල්වියස් ආදිපාදතුමනි." හෝම්ස්ගේ ඇස් ගිනියම් වූ යකඩ බෝල දෙකක් මෙන් දිළිසුනේය. "මම ඔබ ගැන සෑම දෙයක්ම බොහෝම හොඳට දන්නවා."
"එහෙනම් ඔබ දියමන්තිය තියන තැනත් දන්නවා ඇතිනේ."
සතුටින් අත්පොළසන් දුන් හෝම්ස් සිය දබර ඇගිල්ල දිගුකරමින් "එහෙනම් ඔබ එය දන්නවා කියලා පිළගත්තා."
"මම කිසිවක් පිළිගත්තේ නෑ."
"ආදිපාදතුමනි, ඔබ අවංක වෙනවා නම් අපිට පුලුවනි එකඟතාවයකට එන්න. එහෙම නැත්නම් ඔබට පසුතැවෙන්න වෙයි."
සිවිලිම දෙසට නෙත් යැවූ සිල්වියස් ආදිපාදවරයා "ඔබට බොරු කරන්න බැහැ කිව්වනේ" යැයි කීය.
සිය ජයග්‍රාහී පියවර වෙත යන අතිදක්ෂ චෙස් ක්‍රීඩකයෙකු මෙනන් ඔහු දෙස බැලූ හෝම්ස් මේස ලාච්චුව විවෘත කොට කුඩා සටහන් පොතක් එළියට ගත්තේය.
"ඔබ දන්නවාද මේකෙ ලියලා තියෙන්නේ මොනවද කියලා"
"නෑ මහත්මයා, මම දන්නේ නෑ"
"ඔබ ගැන"
"මම ගැන"
"ඔව් මහත්මයා ඔබ ගැන, ඔබගේ නපුරු, භයානක ජීවිතයේ සෑම ක්‍රියාවක්ම මෙහි සටහන් වෙලා තියනවා"
"උබට ශාප වේවා හෝම්ස්, මගෙ ඉවසීමෙත් සීමාවක් තියනවා" ආදිපාදවරයා කෝපයෙන් දිළිසෙන දෑසින් යුතුව කෑගැසීය.
"සූදු කෙළීමෙන් ඉතා කෙටි කලක් තුළ ඔබ නැති නාස්ති කළ බ්ලයිමර්හි දේපළ ඔබට උරුම කොට මියගිය මහලු හැරල්ඩ් මහත්මියගේ මරණයේ සැබෑ හේතුව ඇතුලු ඒ සියලු දේ මෙහි සටහන් වෙලා තියනවා."
"ඔබ නන් දොඩවනවා හෝම්ස්"
"ඒ වගේම මිනී වැරෙන්ඩර් මෙනෙවියගේ සම්පූර්ණ ජීවිත කථාව"
"ඔබට එයින් කිසිවක් කර ගන්න වෙන්නේ නෑ"
"1892 පෙබරවාරි 13 දින රිවිඒරා වෙත ගිය සුපෝඛභෝගී දුම්රියේ සිදුවූ මංකොල්ලය, එම වර්ෂයේම ක්‍රෙඩිට් ලියොනීස් බැංකුව වෙත ඉදිරිපත් කළ ව්‍යාජ චෙක්පත වගේ තව ගොඩක් දේවල් මෙහි තියනවා ආදිපාදතුමනි"
"අන්න එතනදීනම් ඔබට වැරදිලා"
"ඒ කියන්නේ අනිත් දේවල් පිළිබඳව මම නිවැරදියි. ආදිපාදතුමනි, කාඩ් ක්‍රීඩාවේ යෙදෙන්නෙකු විදිහට ඔබ දන්නවා ඇති තුරුම්පු ඔක්කොම ප්‍රතිවාදියා අතට ගිහාම ඔබේ කාඩ් අත පෙන්වීමෙන් කාලය ඉතිරිවන බව."
"මේ දේවල් ඔබ කියූ දියමන්තිය හා සම්බන්ධ වෙන්නේ කොහොමද?"
"මදක් ඉවසන්න ආදිපාදතුමනි. මම ඒ කාරණයට අවශ්‍ය වේලාවට එන්නම්. මම ළඟ ඔබට විරුද්ධව මේ සියල්ල තියනවා. ඒ ඔක්කොටමත් වැඩිය ඔබටත් ඔබේ බොක්සිං ගහන මැරයාටත් එරෙහිව ඔටුන්නේ දියමන්තිය සම්බන්ධයෙන් බොහොම පැහැදිළි නඩුවක් මා සතුව තියනවා."
"ඔය ඇත්තටමද"
"මා සමඟ ඉන්නවා ඔබව වයිට්හෝල් වෙතට හා ඉන් පිටතට රැගෙන ගිය කුළී රථ රියදුරන්, ඔබව දියමන්තිය සහිත ඵලකය අසළදී දුටු දොරටු පාලකයා, ඒ වගේම ඔබ දියමන්තිය කැපීමට කළ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කළ ඉකෙයි සැන්ඩර්ස්. ඉකෙයි සියලු රහස් එළියට දැම්මා ඉතින් ඔබ කොටු වෙලා ඉවරයි."
ආදිපාදවරයාගේ නළල මත වූ නහර ඉලිප්පී ආවේය. හැගීම් මැඩපවත්වා ගැනීමට මෙන් දෑත් මිටමොලවා ගත් ඔහු කතා කිරීමට උත්සාහ කළත් වචන පිට නොවීය.
"ඔය තුරුම්පු ඔක්කොම මගේ අතේ" හෝම්ස් කීය. "තව එක කොළයයි අඩු. ඒ තමයි ලොකුම කොළය. මම දන්නේ නෑ කොහෙද දියමන්තිය තියෙන්නේ කියලා."
"ඒක ඔබට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නෑ."
"නෑ? පොඩ්ඩක් හිතලා බලන්න ආදිපාදතුමනි. ඔබයි සෑම් මෝර්ටනුයි දෙන්නම අවුරුදු විස්සකට හිරේ වැටෙන්නයි යන්නේ. ඉතින් දැන් ඔබට ඔය දියමන්තියෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? කිසිම ප්‍රයෝජනයක් නෑ. නමුත් ඔබ එය බාර දුන්නොත් මම ඔබට සමාව දෙන්නම්. මට ඔබවවත් සෑම් මෝර්ටන්වවත් වැඩක් නෑ. මට ඕනා දියමන්තියයි. ඒක දීලා දාන්න. එහෙම උනොත් ඔබ හොඳ කල්ක්‍රියාවෙන් සිටින තාක් ඔබට නිදහසේ ඉන්න මම ඉඩදෙන්නම්. හැබැයි ඔබ නැවත වැරැද්දක් කළොත් එය ඔබේ අවසාන වැරැද්ද වනු ඇති."
"නමුත් මම එය ප්‍රතිකේෂේප කළොත්?
"එහෙම නම් මම දියමන්තිය අතහැරලා ඔබව අල්ලා ගන්නවා."
හෝම්ස් සීනුව නාද කළෙන් බිලී පැමිණියේය.
"ආදිපාදතුමනි, මම හිතන්නේ දැන් අපි ඔබේ මිත්‍ර සෑම්ටත් මේ සාකච්ඡාවට ආරාධනා කලොත් හොඳයි කියලා. ඔහුගේ අදහසුත් අපි සළකා බැලිය යුතුයි. බිලී, එළියේ දොර ළඟ ඉන්න ලොකු කැත මහත්මයාට උඩට එන්න කියන්න."
"සර්, ඔහු එන්න බෑ කිව්වොත්?"
"ඔහු එක්ක කළබල කරගන්න එපා බිලී. ඔබ කිව්වොත් සිල්වියස් ආදිපාදතුමා ඔහුට එන්න කිව්වා කියලා ඔහු අනිවාර්යයෙන් ඒවි."
"ඔබ දැන් මොකක්ද කරන්න යන්නේ?" බිලී නොපෙනී ගිය පසු ආදිපාදවරයා ඇසීය.
"ටික වේලාවකට කලින් මෙතැන සිටි මගේ මිත්‍ර වොට්සන්ට මම කියමින් හිටියේ මගේ දැලට මෝරෙක් සහ මොදෙක් අසුවී ඇති බවයි.මම දැන් කරන්න යන්නේ දැල ගොඩට ඇදලා උන් දෙන්නව ගොඩට ගන්න එකයි."
ආදිපාදවරයා පුටුවෙන් නැගීසිටියේ අත පිටිපසට තබාගෙනය. හෝම්ස් ඔහුගේ කබා සාක්කුවෙන් එළියට නෙරාතිබූ යමක් අල්ලාගෙන සිටියේය.
"හෝම්ස්, ඔබට නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ."
"මටත් නිතරම එහෙම හිතෙනවා. ඇත්තටම ඒක එච්චර දෙයක් නෙමෙයි. අනික ආදිපාදතුමනි ඔබේ නික්ම යාමත් බොහෝ වෙලාවට ඒ වගේ වෙන්න පුලුවන්. ඉතින් අපි ඒ අවිනිශ්චිත අනාගතය ගැන වද නොවී වර්තමානයේ ආශ්වාදය විදිය යුතුයි කියලා මම හිතනවා."
එක්වරම අපරාධකරුගේ දෑස වන මුර්ගයෙකුගේ මෙන් දිළිසුනේය. අවදානමට මුහුණ දීමට හෝම්ස් සූදානමින් පසුවිය.
"ඔබේ රිවෝල්වරයට ඇගිල්ල යැවීමෙන් ඵලක් නෑ මිත්‍රයා" හෝම්ස් ඉතා පහත් හඩකින් කීවේය. ඔබ දන්නවා මම ඔබට ඉඩක් දුන්නත් එය පාවිච්චි කිරීම සුදුසු නැති බව. රිවෝල්වර හරිම ඝෝෂාකාරීයි ආදිපාදතුමනි ඊට වඩා හොඳයි වායු තුවක්කුව. ආහ් මම හිතන්නේ මට ඇහෙනවා ඔබේ විශ්වාසවන්ත අත් උදව්කරු එන අඩි ශබ්දය. සුභ දවසක් මර්ටන් මහත්මයා, පාරේ හිටගෙන ඉදලා කම්මැලිත් ඇති නේද?"
ශූර සටන්කරුවා හොදින් වැඩුනු සිරුරකින් හා මෝඩ මුරණ්ඩු පෙනුමැති ලෑල්ලක් වැනු මුහුණකින් යුත් තරුණයෙකු විය. කාමරයේ දොර ළඟ නුහුරට සිටගෙන සිටි ඔහුගේ මුහුණේ වූයේ පැටළිලි සහගත බැල්මකි.හෝම්ස්ගේ ආචාරශීලී පිළිගැනීම ඔහු බලාපොරොත්තු නොවූ අත්දැකීමක් විය. එහි යම් එදිරිවාදී බවක් ඔහුට දැනුනද එයට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුදැයි ඔහු දැන සිටියේ නැත. කුමක් කල යුතුදැයි දැනගැනීමට මෙන් ඔහු සිය පරිණත සඟයා දෙස බැලීය.
"දැන් මොකද වෙන්නේ ආදිපාදතුමනි? මොනවද මේ මිනිහට ඕනා. මොකක්ද මේ වෙන්නේ?" ඔහු ගැඹුරු රළු හඩකින් ඇසීය.
ආදිපාදවරයා දෙඋර හැකිලූ අතර හෝම්ස් එයට පිළිතුරු දුන්නේය.
"කෙටියෙන් කියනවනම් මර්ටන් මහත්මයා ඔබලා අහුවෙලා ඉන්නේ."
මර්ටන් නැවත කථා කළේ ඔහුගේ සඟයාටය.
"මේ මිනිහා විහිලු කරනවාද? මම විහිලු කරන තත්වෙක නෙමෙයි ඉන්නේ."
"මේක විහිලුවක් නෙමෙයි" හෝම්ස් කීය. "තව ටික වෙලාවක් යද්දී ඔබට මේකෙ බැරෑරුම්කම තේරෙයි. බලන්න ආදිපාදතුමනි, මම බොහොම කාර්‍ය්බහුල කෙනෙක්. මට නාස්ති කරන්න කාලයක් නෑ. මම දැන් මගේ නිදන කාමරයට යනවා. ඒ අතරතුර මගේ බාධාවකින් තොරව ඔබට පුලුවන් ඔබේ මිතුරාට කාරණය පැහැදිළි කරල දෙන්න. මම මිනිත්තු පහකින් නැවත එනවා. එතකොට මට කියන්න ඔබලා දියමන්තිය මට බාර දෙනවද? මම ඔබලාව නීතියට බාර දෙන්නද කියලා."
කාමරය මුල්ලේ තිබූ වයලීනය අතට ගත් හෝම්ස් කාමරයෙන් පිටවිය. ටික වේලාවකින් ඇග කිළිපොලා යන ආකාරයේ වයලීන් නාදයක් වසා තිබූ නිදන කාමරයේ දොර තුළින් සෙමින් ඇසෙන්නට විය.
"දැන් මොකද කරන්නේ?" මර්ටන් නොඉවසිල්ලෙන් ඇසුවේ තමා දෙසට හැරෙන සිය සඟයාගෙනි. "ඔහු දියමන්තිය ගැන දන්නවාද?"
"ඔහු ඒ ගැන ඕනෑවටත් වඩා දන්නවා."
"මගෙ දෙවියනේ" බොක්සිං ක්‍රීඩකයාගේ මුහුණ සුදුමැලි විය.
"ඉකෙයි සැන්ඩර්ස් අපිව පාවාදීලා."
"ඔහු එහෙම කරලද? ඒ ගැන ඔහුට ගොඩක් පසුතැවෙන්න වෙයි."
"ඒක පස්සේ බලාගමු. අපි හිතන්න ඕනා දැන් අපි මොකක්ද කරන්නේ කියලා."
වැසී තිබූ නිදන කාමරයේ දොර වෙත සැකමුසු බැල්මක් හෙලූ බොක්සිං ක්‍රීඩකයා "මිනිහා අපි දිහා හොරෙන් බලන් ඉන්නවාද දන්නේ නෑ. සමහර විට මිනිහා අපිට කන්දෙනවා ඇති."
"මේ වයලීන් සද්දෙ අස්සේ මිනිහට අපිව ඇහෙන්නේ නෑ."
"ඔව් ඒක ඇත්ත. සමහර විට තිර රෙදි පිටිපස්සේ කවුරුහරි ඇති. මේ කාමරය හැමතැනම තිර රෙදි." යැයි කියූ ඔහු කාමරය පුරා ඇස යැවීය. ජනේලය අබියස වූ අනුරුව එක්වරම ඇස ගැටුනු ඔහු ඒ දෙස ඇඟිල්ල දිගුකොටගෙන පුදුමයෙන් කථා කරගත නොහැකිව සිටියේය.
"ඒක අනුරුවක්. මෝඩයා" ආදිපාදවරයා කීය.
"ඇත්තටම ඒ අනුරුවක්ද? තිර රෙද්ද අතරින් පේන්නේ ඇත්තම මනුෂ්‍යයෙක් වගේ."
"ඔය තිර රෙදි අමතක කරනවා මනුස්සයෝ. අපිට නාස්ති කරන්න කාලයක් ඉතිරිවෙලා නෑ. ඔහුට පුලුවන් මේ දියමන්තිය නිසා අපිව හිරේ යවන්න."
"ඒ යක්ෂයා එහෙම කරාවි."
"හැබැයි අපි ඔහුට දියමන්තිය තියන තැන කිව්වොත් ඔහු අපිට යන්න දේවි."
"මොකක්, පවුම් ලක්ෂයක් අත හරින්න."
"එක්කෝ නිදහස එහෙම නැත්නම් දියමන්තිය."
මර්ටන් සිය හිස කැසීය.
"ඔහු ඇතුලේ තනියම ඉන්නේ. එතනදි ඔහුව ඉවරයක් කරමු. ඔහු නැති උනොත් අපිට බය වෙන්න දෙයක් නෑ."
ආදිපාදවරයා හිස සැළීය.
"ඔහු ඊට සූදානමින් සන්නද්ධවයි ඉන්නේ. වෙඩි තබා මෙතැනින් පැනලා යන එක ලේසි නැහැ. අනික ඔහු දන්න දේ මේ වෙනකොටත් පොලිසියට කියලා ඇති. ඒයි! ඒ මොකක්ද ඒ? "
ජනේලය දෙසින් මෙන් ඇසුන අපහැදිලි ශබ්දයක් විය. දෙදෙනාම කාමරය ඒ මේ අත ගිය මුත් පුටුව මත වූ අනුරුව හැරෙන්නට කාමරයේ කිසිවෙක් නොවීය.
"පාරේ මොකක් හරි වෙන්න ඇති" මර්ටන් කීය. "මේ අහන්න ආදිපාදතුමනි, ඔබයි මොළකාරයා, ඉතින් මේකෙන් ගැලවෙන විදිහක් කල්පනා කරන්න. මේක අත පය පාවිච්චි කරලා විසඳගන්න බැරිනම් ඒක කරන්න වෙන්නේ ඔබටයි."
"ඔයිට වඩා මිනිස්සු මන් රවට්ටලා තියනවා." ආදිපාදවරයා පිළිතුරු දුන්නේය. "දියමන්තිය මගේ රහස් සාක්කුවේ තිබෙනවා. එය කොහෙවත් තියලා එන්න තරම් මම අවදානමක් ගන්නේ නෑ. එය අද රාත්‍රියේදී එංගලන්තයෙන් පිටත් කරලා ඉරිදාට කලින් ඇම්ස්ටර්ඩෑම්හිදී කෑලි හතරකට කපා වෙන් කරනු ඇති. ඔහු වැන් සෙඩ්ඩර් ගැන කිසිවක් දන්නේ නැහැ."
"මම හිතුවේ වැන් සෙඩ්ඩර් පිටත් වෙන්නේ ලබන සතියේ කියලා."
"ඔව් ඔහු ලබන සතියේ පිටත් වෙන්න තමයි හිටියේ. නමුත් දැන් ඔහුට සිදුවෙනවා ඊළඟ බෝට්ටුවෙන්ම පිටත් වෙන්න. අපි දෙදෙනාගෙන් කෙනෙකුට සිදුවෙනවා දියමන්තිය ලයිම් වීදියට ගෙනගොස් ඒ බව ඔහුට කියන්න."
"නමුත් දියමන්තිය සඟවා ගෙන යන රහස් කුටීරය තාම හදලා ඉවර නෑ නේද?"
"කරන්න දෙයක් නෑ. ඔහුට සිදුවෙනවා කෙසේ හෝ එය රැගෙන යන්නට. අපි වහා ක්‍රියාත්මක විය යුතුයි." නැවතත් අන්තරායක සේයාවක් ඉවෙන් මෙන් දැනුනෙන් මදකට නතර වූ ඔහු ජනේලය දෙස විමසිලිමත් බැල්මක් හෙලා ශබ්දය පැමිණෙන්නේ එදෙසින් බව ස්ථිර කර ගත්තේය.
"එතකොට හෝම්ස්" ඔහු නැවත කථාව පටන් ගත්තේය. "අපිට පුලුවන් ඔහුව ලේසියෙන්ම රවට්ටන්න. ඒ මෝඩයා අපිව අත්අඩංගුවට ගන්නේ නෑ දියමන්තිය දෙනතුරු. ඉතින් අපි ඔහුට දියමන්තිය දෙන බව කියලා ඔහුව වැරදි පාරක යවමු. ඔහු තමන්ට වැරදිලා කියලා දැනගනිද්දී දියමන්තිය ඕලන්දයේ තියෙයි, අපි එංගලන්තයෙන් පිටවෙලා ඉදියි."
"ඔව් ඒ විදිහ හොඳයි" සෑම් මර්ටන් සිනහ මුසු මුහුණින් පැවසීය.
"ඔබ ගිහින් ඕලන්දකාරයාට දියමන්තිය දීලා කියන්න වැඩේ ඉක්මන් කරන්න කියලා. මම හෝම්ස්ට බොරු පාපොච්චාරණයක් කරලා ඔහුව රවට්ටන්නම්. මම කියන්නම් දියමන්තිය ලිවර්පූල්වල කියලා. මට දැන් මේ වයලීන් ශබ්දය ඇති වෙලා තියෙන්නේ. ඔහු දියමන්තිය ලිවර්පූල්වල නෑ කියලා දැනගනිද්දී එය කෑලි හතරකට වෙන් වෙලා තියෙයි අපි මහ මුහුදෙන් එහා ඉදියි. මෙන්න දියමන්තිය."
"මට පුදුමයි ඔබ එය රැගෙන ආවා කිව්වහම."
"එය තියන්න වෙන සුරක්ෂිත තැනක් තියනවද? අපිට එය වයිට්හෝල් වලින් සොරාගන්න පුලුවන්නම් තව කෙනෙකුට පුලුවන් එය මගේ නවාතැනින් සොරකම් කරන්න."
"අපි ඒක පොඩ්ඩක් බලමුද?"
සිය සඟයා දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලු සිල්වියස් ආදිපාදවරයා ඔහු වෙත දිගු වූ අපිරිසිදු අත්ල නොසලකා හැරියේය.
"මොනවා! ඔබ හිතනවද මම ඒක ඔබෙන් සොරකම් කරයි කියලා? බලන්න මහත්මයා මට ඔබේ මේ හැසිරීම ටික ටික එපා වේගනයි එන්නේ."
"වැරදියට තේරුම් ගන්න එපා සෑම් මේ රණ්ඩු කරන වෙලාවක් නෙමෙයි. එහි සැබෑ ලස්සන ඔබට දැකගන්නට ඕනා නම් මේ ජනේලය ළඟට ඇවිත් ඒක ඉර එළියට අල්ලන්න. ආ මෙන්න"
"ස්තූතියි"
අනුරුව තබා තිබූ පුටුවේ සිට එක පිම්මට ඔවුන් වෙත පැන්න හෝම්ස් දියමන්තිය උදුරා ගත්තේය. එක් අතක දියමන්තිය රදවා ගත් ඔහු අනිත් අතින් රිවෝල්වරය ආදිපාදවරයාගේ හිස වෙතට මෑනුවේය. අපරාධකරුවන් දෙදෙනා තුෂ්නිම්භූතව ගල් ගැසිනි. ඔවුන් සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමටත් පෙර හෝම්ස් සීනුව නාද කළේය.
"කළබල කරන්න එපා, මහත්වරුනි මම ඔබෙන් ඉල්ලා සිටිනවා කළබල කරන්න එපා කියලා. මගේ ගෘහ භාණ්ඩ ගැන හිතන්න. ඔබට තේරෙනවා ඇති ඔබ ඉන්නේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක බව. පොලීසිය පහළ බලා සිටිනවා."
ආදිපාදවරයාගේ වික්ෂිප්ත භාවය ඔහුගේ කෝපය සහ බිය යටපත් කළේය.
"ඔබ කොහොමද මිනිහෝ.. " ඔහු මිමිනීය.
"ඔබේ විමතිය ස්වාභාවිකයි. ඔබ දන්නේ නෑ මගේ නිදන කාමරයේ සිට තිර රෙදිවලට පිටුපසින් තවත් දොරක් තිබෙන බව. මම හිතනවා මා අනුරුව ඉවත් කරන ශබ්දය ඔබට ඇසුනා කියා. නමුත් වාසනාව මා සමඟයි. ඒ නිසා මට පුලුවන් උනා ඔබේ රසවත් සංවාදයට කන් දෙන්නට. මා සිටින බව ඔබ දැන සිටියානම් එය බොහොම කෙටි නීරස එකක් වෙනු ඇති."
ආදිපාදවරයා තමන් යටත්වන බව ඉඟි කළේය.
"අපි ඔබට සුභ පතනවා හෝම්ස්. ඔබනම් යක්ෂයෙක්."
"බොහෝදුරට වෙන්න පුලුවන්." හෝම්ස් නිහතමානී සිනහවක් පාමින් කීය.
සෑම් මර්ටන්හට සිය සීමිත බුද්ධියෙන් සිදුවූ දෙය තේරුම් ගැනීමට මද වේලාවක් ගතවිය. අවසානයේ එළියේ පියගැටපෙළ දෙසින් බර අඩි ශබ්ද ඇසෙන විට හේ නිහඬතාව බින්දේය.
"බොහොම සාධාරණ පොලිස්කාරයෙක්" ඔහු පැවසීය. "එතකොට අර වයලීන් හඩ, මට එය තවමත් ඇසෙනවා."
"ආ.. ඒකද" හෝම්ස් පිළිතුරු දුන්නේය. "ඒක එහෙම ඇසුනාවේ. ග්‍රැමෆෝන කියන්නේ බොහොම විශිෂ්ඨ නිර්මාණයක්."
ඇතුලට පැමිණි පොලීසිය විලංගු දැමූ අපරාධකරුවන් එළියේ නවතා තිබූ කුළී රථය වෙත ගෙන යන ලදි. හෝම්ස්ගේ කීර්තිමත් වාර්තා ගොන්නට එක්වූ නවතම පරිච්ඡේදය පිළිබඳව සුභ පතමින් වොට්සන් ඔහු හා සාමීචියේ යෙදී සිටියේය. නැවත වරක් ඔවුන්ගේ කථාවට බාධා කරමින් බන්දේසිය මත තබන ලද හඳුන්වාදීමේ කාඩ් පතක් සමඟ බිලී පැමිණියේය.
"සර්, කැන්ට්ලමියර් සාමි පැමිණ සිටිනවා."
"ඔහුව කැඳවාගෙන එන්න, බිලී. මේ තමයි රටේ ඉහළම තැන නියෝජනය කරන්නා" හෝම්ස් කීවේය. "ඔහු බොහොම කීර්තිමත් පක්ෂපාතී පුද්ගලයෙක්, නමුත් තරමක් ගතානුගතිකයි. අපි ඔහුට ගරුසරු ඇතිව සළකමුද? නැතිනම් ඔහු ඉදිරියේ නිදහසේ හැසිරෙමුද? මම හිතන්නේ මේ සිදුවූ කිසිවක් ඔහු දන්නේ නෑ."
දුබල ගමන් විළාසයටත් වටකුරු උරහිස් වලටත් බොහෝ දුරට නොගැළපුන ආනතවූ දිළිසෙන සුලු කළු පැහැ රැවුලකින් හෙබි කෙටේරි හැඩැති මුහුණක් සහිත සැරපරුෂ සිහින් සිරුරක් පිළිගැනීමට දොර විවෘත විය. ඉතා සුහදශීලි ලෙස ඉදිරියට ගිය හෝම්ස් ප්‍රතිචාර විරහිත අතක් සොලවා ආචාර කළේය.
"ඔබේ සැප දුක් කෙසේද, සාමිතුමනි? එළියේ වෙනදාට වඩා සීතලමුත් කාමරය තුළ තරමක් රස්නෙයි. මට ඔබේ කබාය ගැනීමට අවසරද?"
"අවශ්‍ය නෑ. ඔබට ස්තූතියි. මම එය නොගලවා ඉන්නම්."
එය නොඇසුනාක් මෙන් හෝම්ස් සාමිවරයාගේ කබාය මත අත තැබීය.
"මේ ඉන්නේ මගේ මිත්‍ර දොස්තර වොට්සන්. මේ සියල්ලේ රහස්‍යභාවය රකින බවට ඔහු සහතික වෙනවා."
නොඉවසිල්ලෙන් මෙන් හෝම්ස්ගේ අත ගසා දැමූ සාමිවරයා "මම හොදින් මහත්මයා, මම මෙහි රැදී සිටීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මම ගොඩ වැදුණේ ඔබ විසින් යෙදී සිටින පරීක්ෂණයේ ප්‍රගතිය දැන ගැනීමටයි" යැයි පැවසීය.
"එය විසදීම අමාරුයි--බොහොම අමාරුයි."
"මට හිතුනා ඔබට එය එසේ වෙයි කියලා."
මහලු රාජ්‍ය නිළධාරියාගේ හඬ සහ වාග් විලාශයෙහි පැහැදිලි අපහාසාත්මක බවක් වීය.
"හෝම්ස් මහත්මයා සෑම මනුෂ්‍යයෙකුටම අවස්ථාවක් එනවා තමන්ගේ සීමාවන් හදුනගන්න. ඒකෙන් අපේ ආත්මාභිමානය කියන දුර්වලතාවය මගහැරෙනවා."
"ඔව්, උතුමානෙනි මම ඉන්නේ බොහෝ සෙයින් ව්‍යාකූල වෙලා."
"අනිවාර්යයෙන්ම"
"විශේෂයෙන්ම එක් කරුණක් සම්බන්ධයෙන්. සමහර විට ඔබට පුලුවන් වෙයි ඒ ගැන මට උදව් කරන්න."
"ඔබ මගේ උදව් බලාපොරොත්තු වෙන්නේ බොහොම පමාවෙලානෙ. මම හිතුවේ ඔබ ළඟ සෑම දෙයකටම විසදුම් තියනවා කියලා. කමක් නෑ මම ඔබට උදව් කරන්නම්."
"කැන්ට්ලමියර් සාමිතුමනි, අපිට නිසැකවම පුලුවන් සැබෑ සොරුන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නට."
"ඔබ ඔවුන් අල්ලා ගත්තොත්."
"හරියට හරි. නමුත් ප්‍රශ්නය දියමන්තිය ළඟ තබාගෙන ඉන්න කෙනාට විරුද්ධව අපි කටයුතු කරන්න ඕනා කොහොමද කියන එකයි?"
"ඒක මහ බොළඳ කථාවක් නේ."
"ඒ ගැනත් කළින් සැලසුම් කර තිබීම හොඳ බවයි මගේ අදහස. දියමන්තිය ළඟ තබාගත් කෙනාට එරෙහි ප්‍රබලතම සාක්ෂිය විදිහට ඔබ සලකන්නේ මොකක්ද?"
"දියමන්තිය ඔහු ළඟ තිබීම."
"ඒ මත ඔබ ඔහුව අත්අඩංගුවට ගන්නවාද?"
"නිසැකවම"
හෝම්ස් සිනාසුනේ කලාතුරකිනි. වොට්සන්ට මතක ඇති කාලයක ඔහු සිනාසීමට ආසන්නම වූ අවස්ථාව එය විය.
"එහෙනම් උතුමානෙනි මට ඉතා අකමැත්තෙන් උනත් සිදුවෙනවා ඔබව අත්අඩංගුවට ගන්නට."
කැන්ට්ලමියර් සාමිවරයා දැඩි ලෙස කෝපයට පත්විය. ඔහුගේ කම්මුල් දිගේ ගිනිදැල් ගලා යන්නාක් මෙන්විය.
"ඔබ සීමාව ඉක්මවා යනවා, හෝම්ස් මහත්මයා. අවුරුදු පනහක මගේ රාජකාරි ජීවිතයේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. මම වැදගත් වැඩ කටයුතු රාශියක් ඇති බොහොම කාර්‍ය්බහුල පුද්ගලයෙක්. මෝඩ විහිලු කරමින් නාස්ති කරන්න කාලය මා ළඟ නෑ. කෙටියෙන් කියනවානම් මට කවදාවත් ඔබේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් තිබුනේ නෑ. මගේ මතය උනේ මෙම පරීක්ෂණය පොලීසියට භාරදීම වඩා සුදුසු බව. ඔබේ මේ හැසිරීමෙන් මම නිවැරදි බව තහවුරු වෙනවා. එහෙනම් සුභ සන්ධ්‍යාවක්!"
ඒ වනවිට හෝම්ස් හීන්සීරුවේ සාමිවරයා සහ දොර අතරට පැමිණ සිටියේය.
"මොහොතක් ඉන්න සර්" ඔහු කීය. "දියමන්තිය රැගෙන යාම එය තාවකාලිකව ළඟ තබාගැනීමට වඩා බරපතළ වරදක් වේවි."
"මහත්මයා, මෙය දරාගත නොහැකියි. කරුණාකර මට යන්න දෙන්න."
"ඔබේ අත කබායේ දකුණු පස සාක්කුවට දමන්න."
"ඔබ මොකක්ද මේ කියන්නේ මහත්මයා."
"මම කියපු දේ කරන්නකෝ"
මොහොතකට පසුව විමතියට පත් සාමිවරයා සිය ගැහෙන අත්ල මත වූ කහ පැහැ දියමන්තිය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය.
"මොනවා! මේක කොහොමද උනේ හෝම්ස් මහත්මයා?"
"මෙතැන සිටින මගේ මිත්‍රයා කියාවි මට ප්‍රායෝගික විහිළු කිරීමේ නොහික්මුණ පුරුද්දක් ඇති බව. ඒ වගේම මට කිසිදිනක උද්වේගකර අවස්ථාවක් මගහැරිය නොහැකි බව. ඉතින් මම අපේ සංවාදය ආරම්භයේදීම දියමන්තිය ඔබේ සාක්කුවට දාන්න තරම් දුරදිග ගියා."
මහලු රාජ්‍ය නිළධාරියා සිය දෑස් දියමන්තියේ සිට ඔහු ඉදිරිපිට වූ සිනහමුසු මුහුණ වෙත යොමු කළේය .
"මහත්මයා මගෙ සිහිය විකල් වෙලා වගේ. ඇත්තටම මේක මසාරින් ගලනම් තමයි. අපි ඔබට බොහොමත්ම ණයගැතියි හෝම්ස් මහත්මයා. හැබැයි ඔබේ ප්‍රහසන හැකියාව තරමක් අවභාවිතා කළ බවත් මේ සංදර්ශනය එතරම් කාලෝචිත නොවන බවත් ඔබ පිළිගන්නවා ඇති. නමුත් ටික වේලාවකට කළින් ඔබේ හැකියාවන් පිළිබඳව කළ ප්‍රකාශය මා ඉල්ලා අස්කර ගන්නවා. ඇත්තටම කොහොමද..."
"විස්තර පසුවට කියන්නම්. කැන්ට්ලමියර් සාමිතුමනි, මෙම පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵලය ඔබ විසින් අප රටේ උත්කෘෂ්ට සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් ලබන සතුටෙන්, මා සිදුකළ ප්‍රායෝගික විහිළුව නිසා ඔබට යම් සිත්තැවුලක් වී නම් එය තුනී වී යනු ඇතැයි මා සිතනවා. බිලී මේ උත්තමයාව ආපසු ඇරලවන්න. ඔබ යන ගමන් හඩ්සන් මහත්මියට කියන්න හැකි ඉක්මනින් දෙදෙනෙකුට රාත්‍රී ආහාරය එවන ලෙසට."
(සර් ආතර් කොනන් ඩොයිලි ගේ "දි ඇඩ්වෙන්චර් ඔෆ් මැසරින් ස්ටෝන්" කෙටි කථාවේ සිංහල පරිවර්තනය.)
~රුවන්ත ප්‍රේමසිරි~
(සර් ආතර් කොනන් ඩොයිලි ගේ "දි ඇඩ්වෙන්චර් ඔෆ් මැසරින් ස්ටෝන්" කෙටි කථාවේ සිංහල පරිවර්තනය.)
~රුවන්ත ප්‍රේමසිරි~
I have not gone through the books translated by others of Sir Conan Doyle. But it was able to pilfer my view and i was like numb. Further i felt that i'm near by to end my escavation where a person has read the original book will remain the same feeling..
ReplyDelete