Skip to main content

The Dishonour among thieves - ද්‍රෝහියා සෙවීම


Tales of Professor James Moriarty 

The Dishonour among thieves 

ද්‍රෝහියා සෙවීම


අද කාලයේ බොහෝ දෙනා කරන්නාක් මෙන් මගේ සඟයාගේ වීරක්‍රියා විස්තර කිරීමට මටද සිදුවී තිබේ. අසහාය බුද්ධියකින් හෙබි ඔහු පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. ජීවිතයේ පසුකලකදී ඔහු ලන්ඩනය උඩුයටිකුරු කළේය. සිය  තර්කානුකූල නිගමනයන්ට එළබීමේ හැකියාව නිසා ඔහු ඉමහත් පිළිගැනීමට ලක්වූ අතර නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ නිරන්තර අවධානයට පාත්‍ර විය. නමුත් මේවා බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්ය. එම නිසා හිතාදර පාඨකය, මා සූදානම් වන්නේ ඔහුගේ අප්‍රකට ආරම්භය සහ ඔහු අප සැම හදුනන පුද්ගලයා බවට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව විස්තර කිරීමටය. 

ඔබ අනුමාන කළ පරිදිම මා මේ කියන්නේ මහාචාර්ය ජේම්ස් මොරියාර්ටි ගැනය.

1871 ශිශිර සෘතුවේ සීතල සුළං සහිත රාත්‍රියක මම ස්ට්‍රේට්රේසර් රෆියන්ස් කල්ලියේ ප්‍රධානියා ලෙස මට පැවරී තිබූ දහසකුත් එකක් රාජකාරිවල නිරත වී සිටියෙමි. හමුදා සේවයෙන් ලබාගත් තාවකාලික නිවාඩුවේ පිහිටෙන් හමුදා භාණ්ඩ සොරකමේ යෙදී සිටී මම, කුඩා අපරාධ කල්ලියක් මෙහෙයවන්නකු දක්වා උසස් වීමක් ලැබූවෙමි. එහෙත් ඒ වනවිට කිසිසේත්ම නගරයේ බලවත් අපරාධකරුවකු නොවූ මම මගේ කියා නමක් ගොඩ නගා ගැනීමටත් සමකාලීන අපරාධකරුවන්ගේ ගෞරවය දිනා ගැනීමටත් පටන්ගෙන සිටියෙමි. ප්‍රදේශ මායිම් පිළිබඳව නිසි තැකීමක් නොකළ ප්‍රතිවාදී කල්ලි නායකයෙකු පිළිබඳව පෞද්ගලිකවම බලාගැනීම සදහා මට අවස්ථාව හිමිවූවේ ඉතා මෑතකදීය. අවසානයේ පොලීසිය විසින් ඔහුගේ මළසිරුර සොයාගත්තද ඔවුනට විමර්ශන ඉදිරියට ගෙන යාමට නොහැකි වූයේ හිසක් නොමැතිකමින් මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි වූ බැවිනි. 

ඒ අතර මම ඉතා වැදගත් ගැටලුවකට මුහුණ පා සිටියෙමි. මා හට අයත් කුඩා නමුත් ඉතා ලාභදායී සූදුපොළක් පොලීසිය විසින් වටලනු ලැබීය. එම අවාසනාවන්ත සිදුවීම අවසන් වූයේ එහි සිටි මගේ සියලු සේවකයින් අත්අඩංගුවට පත්වී තිබූ මුදල් රාජ සන්තක කොට බඩු බාහිරාදිය පොලිස් භාරයට පත්කොට  විනාශ කිරීමෙන්ය. මගේ සංවිධානයෙන් කප්පම් ගන්නා එකදු පොලිස් නිළධාරියකුවත් මෙවැනි වැටලීමක් සැලසුම් වන බව මට දන්වා සිටියේ නැත. ඔවුනට මගෙන් එලෙස තොරතුරු වසන් කිරීමට හේතුවක් නොවූ නිසාත් සූදුපොළ පැවැත්වූ ස්ථානය සෑම රාත්‍රියකදීම වෙනස්කල නිසාත් එදින සූදුපොළ පැවැත්වූ ස්ථානය  පිළිබඳව පමණක් නොව වැටලීමේ තොරතුරු වසන් කළයුත්තේ කුමන පොලිස් නිළධාරීන්ගෙන්ද යන්න පිළිබඳවත් මගේම සහචරයකු විසින් පොලීසියට ඔත්තු ලබාදී ඇති බව මට පසක් විය.

එය කිසිදු වගවිභාගයකින් තොරව බෙලි කැපිය හැකි අවස්ථාවක් නොවීය. පක්ෂපාතීත්වය ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරනු ඇති බවත් ද්‍රෝහීන්ට එහි ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බවත් මගේ යටහත් සහචරයින් හට ඒත්තු ගැන්විය යුතුවිය. මවිසින්ම සිදුකළ විමර්ශනයන් සහ තාර්කික විශ්ලේෂණයන් කිහිපයකින් සැකකරුවන් ප්‍රමාණය සීමිත සංඛ්‍යාවක් දක්වා  අඩුකර ගත්තේය. මා ඔබට කියූ පරිදි ඒ වනවිට මගේ කල්ලිය යම් නිශ්චිත ප්‍රදේශයක් කේන්ද්‍ර කොටගත් ලන්ඩන් නුවර ක්‍රියාත්මක වූ අනෙකුත් අපරාධ කල්ලිවලට සාපේක්ෂව කුඩාවූ සංවිධානයක් විය. මගේ සහචරයින් බොහෝ දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන් සූදුපොළෙහි සේවය කළ බැවින් තම ඥාතීන් හිරේ විලංගුවේ වැටෙන දෙයක් ඔවුන් නොකරනු ඇත. එදින රාත්‍රියෙහි සූදුපොළ පවත්වන ස්ථානය තීරණය කරනු ලැබූයේ ඊට පෙර දින රාත්‍රියේ වූ හෙයින් කවරෙකුට හෝ සිය ඔත්තු සැපයීමේ රාජකාරිය කිරීමට ලැබුනේ පැය 24ක කාලයකි. එම කාලය තුළ මගේ බොහෝ සහචරයින් රාජකාරි පිණිස බැහැර ගොස් සිටි අතර අනෙක් අය එම කාලය මා සමඟ සෘජුව සම්බන්ධ වී සිටි හෝ නිර්දෝෂී බව මවිසින් සැකයකින් තොරව විශ්වාස කරන මගේ අණදෙන්නන් මගින් තහවුරු කරන ලද අය හෝ වූහ. අවසානයේ සැකකරුවන් ගණන තුනක් දක්වා අඩුකර ගත්තද ඉන් ඔබ්බට ගොස් සැබෑ ද්‍රෝහියා සොයා ගැනීමට ක්‍රමයක් නොවීය.

ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස මා අසා තිබූ ජේම්ස් මොරියාර්ටිගේ සේවය මේ සඳහා ලබා ගැනීමට මා තීරණය කළේ ඉන්පසුවයි. ඕනෑම සූක්ෂම ගැටලුවක් විසදීම සදහා සිය බුද්ධි මහිමය යෙදවීමට කැමති ගැටලු විසඳන්නකු ලෙස ඔහු පාතාල ලෝකය තුළ නමක් දැරීය.

"මම තමයි මහාචාර්ය මොරියාර්ටි" ඔහු මගේ කාර්යාලයට ඇතුලු වෙමින් කියා සිටියේය. විභූතියකින් හෝ යටහත් පහත් බවකින් හෝ තොරවූ ඔහුගේ ප්‍රකාශය සරල විය. "ඔබ මගේ සේවය බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබුනා" හේ මා සිතා සිටියාට වඩා වයසින් අඩු පුද්ගලයෙකු වීය. මෙතරම් අධ්‍යාපන සුදුසුකම් සැපිරූ අයෙකු වයස්ගත, උපැස් යුවලක පිහිට ලබන්නාවූ පුද්ගලයෙකු විය යුතුබව මම මීට පෙර උපකල්පනය කර සිටියෙමි. නමුත් මා ඉදිරිපිට සිටි මිනිසා එවැන්නකු නොවූ අතර මනා ශාරීරික සුවතාවයකින් පසුවූ, ඔහු මා දෙස හෙලූ බැල්ම නිසා දැනුන ගුප්ත හැගීම හැර අන්කිසිවකින් ඔහුගේ බුද්ධිමත් බව නොසැඟවුනු පුද්ගලයෙකු වීය. ඔහු මා විනිවිද දකින බවක් මට හැගී ගියේය.

"මම ඔබේ කබාය සහ හිස්වැසුම ගන්නද?" මම අසා සිටියෙමි. "සමහර විට ඔබ කැමති ඇති තේ කෝප්පයක් බොන්න."

"එසේ කිරීම අවශ්‍ය නොවනු ඇති." මොරියාර්ටි කීය. "මට විශ්වාසයි මේකට වැඩි වේලාවක් ගත නොවන බව. ඔබේ පණිවිඩයේ ගැටලුවේ මූලික විස්තරය තිබුනා. ඊට අමතර යමක් ඔබට කීමට තිබේද?"

"මට කීමට ඇත්තේ සැකකරුවන් තුන්දෙනා මොවුන් බව පමණයි" කාර්යාලය මැද මුඛ වාඩම් දමා පුටු තුනක බැදදමා සිටි ලෙයින් වැකුණු මිනිසුන් තිදෙනෙකු පෙන්වමින් මම කියා සිටියෙමි.

"මම එය අනුමාන කළා." මොරියාර්ටි අවවාදාත්මක ස්වරයෙන් කීය. ඔහු ඇවිදින ගමන් සිය ඇඟිලි තුඩු වලින් සිට ගනිමින් සෑම සැකකරුවෙකුවම පරීක්ෂා කළේය.

"මහාචාර්යතුමනි, මම ඔවුන්ගේ මුඛ වාඩම් ලිහන්නද?"

මොරියාර්ටි තම ඇස් සැකකරුවන්ගෙන් ඉවතට නොගනිමින් පිළිතුරු දුන්නේය. "ඒක මෙතනදී උදව් වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. සැකයක් නෑ ඔවුන් සියල්ලන්ම තමා නිර්දෝෂියි කියා කියලා ඇති. හැමෝම තෙම්පරාදු වෙච්ච අපරාධකාරයො නිසා කවුද බොරු කියන්නේ කියන එක හොයාගන්න ලේසි නෑ. ඒවගේම ඔබේ වැනි සංවිධානයක ප්‍රධානියා පාවා දෙන කෙනෙක් ඔහුව සෝදිසියට ලක් වීමෙන් ගැලවෙන විදිහට වැඩ  සිද්ධ කරන බවට සැකයක් නෑ, සමහර විට තමන් මෙම වරද නොකළ බව ඇඟවීමට බොරු සාක්ෂි පවා හදලා ඇති."

"හැබැයි ඒවයින් වැඩක් වෙන්නේ නෑ."  මොරියාර්ටි කීවේ මා දෙසට හැරෙමිනි. "මෙන්න මේ මිනිහා තමයි ද්‍රෝහියා!!" කියමින් ඔහු චීකි ඩේව් වෙත සිය ඇඟිල්ල දිගු කළේය. චූදිතයා සිය හිස වේගයෙන් දෙපසට වනමින් මුඛ වාඩම තුළින් වැළපෙන්නට විය.

"මහාචාර්යතුමනි, ඔබ කොහොමද එය දැනගත්තේ? " මම ඇසුවෙමි. 

"ඔබ සෑම නිරීක්ෂණයක් කෙරෙහිම හොදින් අවධානය යොමු කරනවා නම් එය ඉතා පහසුයි. ඔබට පේනවා ඇති ඔහුගේ මැණික්කටු දෙකම සීරී ඇති බව. ඔහුව පුටුවට බැඳ තිබියදී පවා ඔහු ඉන්නේ සෑහෙන දුරට වමට නැඹුරු වෙලා. එවගේම, ඔහුගේ තොප්පිය ඔහුගේ තරමට වඩා වටින අලුත් එකක් තව ඔහුගේ සාක්කුවේ තියනවා රේස් කොළයක්."

ඒ වනවිට ව්‍යාකූලත්වයට පත්ව සිටි මම "මහාචාර්යතුමනි, මේවා මේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ" යැයි කීවෙමි.

"මගේ මිත්‍රයා, මේවායින් කථාවක් කියවෙනවා." ඔහු පිළිතුරු දුන්නේය. "එක් මැණික්කටුවක් සීරී තිබුනානම් අපිට හිතන්න පුලුවන් ඒ අනතුරකින් හෝ රණ්ඩුවක් නිසා කියලා නමුත් මැණික්කටු දෙකම එකම විදිහට සීරී තිබීමෙන් පෙනී යන්නේ ඔහුට මාංචු දමා තිබී ඇති බවයි. ඒ ගෙවුණු පැය 24 තුළදීයි. නැත්නම් තුවාල මීට වඩා සුවවී තිබිය යුතුයි. සිරකූඩුව තුළදී ඔහු ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන් අතින් පහර කෑමට ලක්වී තිබෙනවා. එයින් සිදුවූ ඉල ඇට බිදීම් නිසා තමයි ඔහු වේදනාවෙන් වම් පසට නැඹුරු වෙලා ඉන්නේ."

"සිරකූඩුව තුළ පහර කා මියයනවාට වඩා හොඳ විකල්පයක් ඔහුට පෙනී යනවා. ඔහු ඉදිරිපත් වෙනවා ඔහුගේ ගැලවීමට ඔබව පාවාදීමට. ඔබ ගැන ඔත්තු සැපයීමට ඔහු එකග වන බව  දකින ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන් පහරදීම් නවත්වනවා. ඒවගේම ඔබව කොටුකර ගැනීමට දත කන පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත් වරදට සමාව දෙනවා. නැත්නම් මෑතකදී මාංචු දමා අල්ලා ගත් ඔහු මෙච්චර ඉක්මනට පොලිස් කූඩුවෙන් ගැලවෙන්නේ කොහොමද?"

"ඒවගේමයි මා කිව්ව වගේ ඔහුගේ තොප්පිය අනර්ඝ තත්වයේ පවතිනවා. ඔහු වගේ පුද්ගලයින් කවදාවත් හිස්වැසුම පිරිසිදු කිරීමක් කරන්නේ නෑ. ඒ කියන්නේ මේක අලුත් එකක්. මම හිතන විදිහට ඒක පවුම් පහක්වත් වටිනවා. ඔබව පොලීසියට පාවාදීම වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන් ඔහු වෙත ලබාදුන් මුදල් වලින් එය මිලදී ගෙන ඇති බවට සැකයක් නැහැ."

"ඒකනම් මාරයි." මම කීවෙමි. "එතකොට රේස් කොළය, කොහොමද ඒක මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ?"

"ඒකෙන් කියවෙන්නේ ඔහු රේස් ඔට්ටුපොළට ගිය බවයි. ඔහු මෙයට සම්බන්ධ නැති බව පෙන්වන්න එය කදිම සාක්ෂියක්. ඔට්ටුපොළේ සිටි බොහෝ දෙනෙක් ඔහු එහි සිටි බව තහවුරු කරාවි."

"නමුත් මොරියාර්ටි!" මම විරෝධය පලකළෙමි. "ඒකෙන් ඔබ මෙතෙක් ගොඩනැගූ තර්කය සම්පුර්ණයෙන් බිදවැටෙනවනේ."

"පොඩ්ඩක් ඉවසන්න. මම කලින්ම කිව්වා වරදකරු තම නිර්දෝෂී බවට කරුණු ඉදිරිපත් කරන බව. මේ තමයි ඒක. නමුත් එහි ලොකු දුර්වල කමක් තියනවා. මම බොහොම විමසිල්ලෙන් ඉන්නේ. මම පාතාල සාමාජිකයන් ගැන ගොඩක් දේවල් දන්නවා. ඉතින් මම චීකි ඩේව් ගැනත් ටිකක් දන්නවා. ඔහුට ලියන්න කියවන්න බැහැ. ඉතින් ඔහු රේස් කොළයක් අරන් මොනවා කරන්නද? මොකුත් නැහැ, ඔහුගේ බොරු නිර්දෝෂී බව මවා පෑම විතරයි. ඔහු ඇත්තටම නිර්දෝෂීනම් රේස් කොළයක් සාක්කුවේ දාගෙන ඉන්නේ නෑ."

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ! මොරියාර්ටි! ඒකනම් මාරයි." මම චීකි ඩේව් ඉවරයක් කරමින් කියා සිටියෙමි. "ඇත්තටම ඔබේ දක්ෂතාවය විශ්මිතයි!" කියමින් මම අනෙක් දෙදෙනා නිදහස් කර හැරියෙමි. 

"ඒක එච්චර දෙයක් නෙමෙයි මිත්‍රයා!" මොරියාර්ටි කියා සිටියේ එතරම් තැකීමකින් තොරවයි.  "මගේ ගාස්තුව අරන් මිනිහෙක්ව මගේ නිවසට එවන්න."

නිදහස ලැබූ මිනිස්සුන් දෙදෙනා කඩිමුඩියේ කාමරයෙන් පිටතට පැන ගත්තෝය. ඔවුන් දෙදෙනාටම පිරිසිදු කරගැනීම සදහා නොසෑහෙන තරම් ලේ ප්‍රමාණයක් ඔවුන්ගේ කමිසවල තිබූ අතර, චීකී ඩේව්ගේ අවසානය පිළිබඳ කථාව සිය සගයින්ට කියනු ඇතැයි මම බලාපොරොත්තු වීමි. 

"මොරියාර්ටි, ඔබේ මේ හැකියාවෙන් ඔබට පුලුවන්නේ ඔබේම කල්ලියක් හදාගන්න."

"ම්ම්ම්.." ඔහු කල්පනා කළේය. 

"ඒකනම් මම දන්නේ නෑ. සමහර විට අනාගතයේදී මම එහෙම දෙයක් ගැන හිතලා බලන්නම්. නමුත් දැනට මම උපදේශකයකු විදිහට ඉන්නම්. ඉතින් ඔබ මට අවසර දෙනවානම් මට බොහෝ රාජකාරි තිබෙනවා. ග‍්‍රහකවල අභ්‍යන්තර ගතික  බලයන් පිළිබඳ මගේ විශ්ලේෂණයේ සෑහෙන ප්‍රගතියක් අත්කර ගනිමිනුයි මම ඉන්නේ."

"මම ඔබේ ගාස්තුව රැගෙන කොල්ලෙක්ව හෙට උදෙන්ම  එවන්නම්." මම පොරොන්දුව උනෙමි. "ඔබට් සුභ දවසක්! මහාචාර්ය මොරියාර්ටි" 

"ඔබටත් සුභ දවසක් කැප්ටන්!" යයි ඉතා නිහතමානී ලෙස ආචාර කළ ඔහු පිටව ගියේය.

(ඇමෙරිකානු ලේඛක ඇන්ඩි වියර්ගේ "දි ඩිස්ඔනර් අමන්ග් තීව්ස්" කෙටි කතාවේ සිංහල පරිවර්තනය)

~රුවන්ත ප්‍රේමසිරි~ 

Comments

Post a Comment

Popular posts from this blog

Mystery of the sealed room - වැසුණු කාමරයේ අභිරහස

  Tales of Prof. James Moriarty  Mystery of the sealed room  වැසුණු කාමරයේ අභිරහස බිහිසුණු අපරාධ ගණනාවක් සිදුකළ පුද්ගලයෙක් අවසන තමා නොකළ වරදක් සදහා සැකපිට අත්අඩංගුවට පත්වීම දෛවෝපගත සිදුවීමකි. එය කළකිරෙනසුළුය. නීතියට පටහැනි වන දුෂ්ට පුද්ගලයන් ගේ සිත් තුළ පවා සැමට යුක්තිය ඉටුවිය යුතුය යන හැගීම බලවත් ලෙස පවතී. කෙදිනක හෝ මා නීතියේ රැහැනට හසුවනවානම් ඒ මා ඇත්තටම සිදුකළ අපරාධයක් සදහා විය යුතු බව මම විශ්වාස කරමි. තමා පොලිස් අත්අඩංගුවට පත්වූ බව දන්වමින් මහාචාර්ය මොරියාර්ටි එවූ ලිපිය ලදවිට මා කෙතරම් විමතියට පත්වීදැයි ඔබට සිතා ගත හැකිය. ඇප බැදීමට මුදල්  ලෑස්ති කරගත් මම ඉක්මනින් ඔහු රඳවා සිටි තැනට ගියෙමි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගල ඝාතනයකට සැකපිට බව දැනගැනීමෙන් මම කම්පනයට පත්වුනෙමි. ඇප මත ඔහු නිදහස් නොකරනු ඇති. ආයුධයක් වැනි යමක් හොර රහසේ ඔහු වෙත ලබා දෙනු ඇතැයි යන සැකයෙන් මා දෙස ඉතා සුපරීක්ෂාකාරීව ඇසගසාගෙන සිටි පොලිස් නිළධාරීන් සමඟ සිරමැදිරිය වෙත ගිය මම යකඩ කූරු අතරින් ඔහු හා කථා කළෙමි. "මොරියාර්ටි, මොකද මේ උනේ?" මම ඇසුවෙමි. "කෙටියෙන් කීවොත් කැප්ටන්, මෝර්ටන් ෆෙයාචයිල්ඩ් නැම...

Adventure of unscrupulous assassin - දුෂ්ට මිනීමරුවාගේ වික්‍රමය

Tales of Professor James Moriarty  The Adventure of the unscrupulous assassin  දුෂ්ට මිනීමරුවාගේ වික්‍රමය මහාචාර්ය ජේම්ස් මොරියාර්ටි සහ මගේ ඇසුර තුළ ඔහුගේ විශ්මය දනවන සුලු තාර්කික නිගමනයන්ට එළබීමේ හැකියාවත් ඔහුට බාරවූ ගැටලු විසදීමේදී දැක්වූ සටකපට බුද්ධියත් දැකගැනීමේ භාග්‍යය මා හට ලැබුනේ වරක් දෙවරක් නොවේ. මම මහාචාර්යවරයා හදුනාගෙන ටික කලකින් ඔහුගේ සේවාවන් සදහා එක්තරා ආකාරයක සම්බන්ධීකාරකයකු බවට පත්වූවෙමි. පාතාල ලෝකයේ බොහෝ දෙනෙකු මෙන් මහාචාර්යවරයාද කිසිවෙකු විශ්වාස කිරීමට මැළිවූ අතර කොතරම් වාසිදායකයැයි පෙනී ගියද ඔහුගේ අභිමතයෙන් තොරව ඔහු වෙත ඉදිරිපත්වූ සහයයන් භාර ගත්තේ ඉතා කලාතුරකිනි. එබැවින් නිතර සිදුවූ අයුරින් වයලට් සුට්ක්ලිෆ් මෙනවියගේ ආරක්ෂාව පිළිබඳ කාරණයේදීද ඔහුගේ නියෝජිතයා වීමට මට කැඳවීමක් ලැබිණි. මා මීටපෙර සදහන් කරසිටි පරිදිම ඒ වනවිට මම ලන්ඩන් පාතාල ලෝකයේ ඉතා උත්සාහවන්ත නමුත් කුඩා හා නොවැදගත් සාමාජිකයෙකු වීමි. චාල්ස් සුට්ක්ලිෆ් මහත්මයා ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පුද්ගලයෙකු විය. ඔහු එවකට ලන්ඩනයේ සිටි භයානකම අපරාධ කල්ලි මෙහෙයවන්නා වූ අතර ඔහුගේ අයථා  වැඩ කටයුතු මගින් විශාල ධනස...

A Retrieved Reformation - ආදරයෙන් ආලෝකයට 01 කොටස

  A Retrieved Reformation  ආදරයෙන් ආලෝකයට 01 කොටස ජිමී වැලන්ටයින් යුහුසුළුව සපත්තු මැසීමෙහි නිරතවී සිටි බන්ධනාගාර සපත්තු වැඩපොළ වෙත පැමිණි මුරකරුවකු ඔහුව කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදි. එහිදී බන්ධනාගාර නියාමක විසින් එදින උදෑසන ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරනලද ඔහුගේ සමාව පිරිනමනු ලැබුවේය. ජිමී එය බාරගනු ලැබුවේ තරමක් වෙහෙසට පත්වූවෙකු විලසිනි. ඒ වනවිට ඔහු සිය සිව් අවුරුදු සිර දඬුවමෙන් මාස දහයකට ආසන්න කාලයක් ගතකොට අවසන්ව තිබිනි. එහෙත් ඔහු සිරගෙදර මාස තුනකට වඩා ගත කිරීමට බලාපොරොත්තු නොවීය. සාමාන්‍යයෙන් ජිමී වැලන්ටයින් වැනි දැන හැඳුනුම්කම් බහුල පුද්ගලයින්හට හිමිවන සිර දඬුවම් සිරගෙදරට ඇතුලු කරනවිට මුඩුකරන හිසකෙස් නැවත වැවෙන තුරු වත් පවතින්නේ නැත. "හොඳයි වැලන්ටයින් තමුසෙට හෙට උදේ යන්න පුලුවන්. දැන් ගිහින් සුද්ධ පවිත්‍ර වෙලා ලෑස්ති වෙනවා. තමුසෙ එච්චර නරක මිනිහෙක් නෙමෙයි. ඔය සේප්පු කඩන එක නවත්තලා සාධාරණ විදිහට ජීවත් වෙන්න බලනවා." බන්ධනාගාර නියාමක කියා සිටියේය. "මම...? මම කවදාවත් සේප්පුවක් කඩලා නෑ." ජිමී පැවසුවේ පුදුමයට පත්වූවෙකු ලෙසිනි. "අපොයි නෑ නේන්නම්" බන්ධනාගාර නිය...